brand logo

රෝග නිවාරණ ආඥා පනතින් රට පුරා ඇඳිරිනීතිය පනවන්න බැහැ

15 June 2020

ඇඳිරිනීතිය පැනවීම විධිමත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශ මාලාවක් නිකුත් කර ඇති අතර නිරෝධායන සහ වසංගත වැළැක්වීමේ ආඥාපනත යටතේ හෝ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඒවා ගැසට් කර විධිමත් රෙගුලාසියක් බවට පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් නිකුත් කරන මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ කොවිඩ් වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වන් ඉස්මතුව ඇති බවයි. මෙම ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් කියයි. කොමිසම නිර්දේශ ඔස්සේ පෙන්වා දී ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා විසින් රෝග නිවාරණ හා වැළැක්වීමේ ආඥාපනත යටතේ සිදුකරන චලනය සීමාකිරීම් අදාළ වන්නේ අදාළ රෝගී ප්‍රදේශ හරහා ගමන් කිරීමට පමණක් බවයි. එම නිසා පූර්වාරක්ෂක පියවරක් ලෙස රට පුරා ඇඳිරිනීතිය පැනවීමට තරම් පුළුල් බලතල එම ප්‍රතිපාදනවල නොමැති බවත් කොමිසම පවසයි. ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීම විධිමත් ලෙස සිදුකළ යුතු අතර ඒ සඳහා පොදු වසම් (ප්‍රදේශ) තිබිය යුතු බවත් දැනට ඇඳිරිනීතිය පැනවීමේ නිර්දේශ මත පොදු වසම් ප්‍රකාශ කිරීමක් නොමැති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දී ඇත. නයන තරංග ගමගේ
 

More News..