brand logo

රොෂාන් සහ ලූෂන් නිරෝධායනයට

19 March 2020

ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහනාම සහ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් කොරෝනා වෛරසයෙන් මිදීම සඳහා නිරෝධායනය වීමට තීරණය කර ඇත. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම ඊයේ (18 වැනිදා) පාකිස්තානයේ සිට මෙරටට පැමිණ තිබුණ අතර ඔහු ස්වයං නිරෝධායනයෙහි නිරත වන බව වාර්තා වේ. මහානාම ලාහෝර් හි පැවති පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ තීරකවරයකු ලෙස කටයුතු කරමින් සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර අදාළ පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියද කොරෝනා වෛරසය හේතුවෙන් හදිසියේ අවලංගු කර ඇත. රොෂාන් ශ්‍රී ලංකාවට නැවත පැමිණි විට තම නිල මුහුණු පොතේහි තමාගේ ස්වයං නිරෝධායනය සඳහා සහභාගි වීම සම්බන්ධයෙන් සඳහන් කර තිබිණි. අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ අනුමත තරග තීරක වරයෙක් වන රොෂාන් මහානාම 1996 ලෝක කුසලාන ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකුද වේ. මේ අතර ඇමරිකාවේ පැවති ‘ආනොල්ඩ්’ ලෝක කායවර්ධන තරගාවලියේ සිව්වන ස්ථානය දිනූ ලූෂන් පුෂ්පරාජ්ද පෙරේදා (17 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුද, නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වූ බව සඳහන් වේ. තායිලන්තයේදී පසුගියදා පැවති 10 වන ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගන්නටද ලූෂන් සමත් වූ අතර අවස්ථාවන් කිහිපයකදීම ලෝක කායවර්ධන වේදිකාවේ ශ්‍රී ලංකා නාමය බබළවන්නටද ඔහු සමත් වූයේය. ලූෂන් මේ වනවිට චීනයේ කායවර්ධන උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ඇත. මෙම නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් විමසීමට ලූෂන් පුෂ්පරාජ්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය.
 

More News..