brand logo

රොෂාන් තමයි මගේ වීරයා

24 April 2021

ඇය නවක නිළියක් වුණාට අද වනවිට බොහෝ දෙනාගේ නොමඳ ආදරය ලබනවා. නාඩගම්කාරයෝහි මාස්ටර්ගේ පොඩි දුවට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඇය කවුද කියලා සොයා බලන්න අපට සිතුණා. නමින් ඇය නිම්මි මනෝහාරි. නිම්මි කොහෙද? මම නුවර... පාසල් ගියේ? සීතාදේවි බාලිකා විද්‍යාලයෙන් තමා අධ්‍යාපනය ලැබුවේ. නිළියක් වෙන්නට බලාගෙනද ඉගෙන ගත්තේ? නිළියක් වෙන්නම කියලා හිතාගෙන උන්නේ නැහැ. හැබැයි පාසලේ මාධ්‍ය ඒකකය එක්ක එකතු වෙලා වැඩ කළා. කාලයක් මම නිවේදිකාවක් හැටියටත් කටයුතු කළා. ඇයි නිවේදන වෘත්තිය අත්හරින්නේ? මගේ අම්මා හෙදියක්. තාත්තා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්නේ. අම්මාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වෙන්න වුණා. මල්ලිව බලාගන්න මට ගෙදර නවතින්න වුණා. ඊට පස්සේ... කලාව අතහැරලා සංචාරක ක්ෂේත්‍රයේ ඉවෙන්ට් මැනේජ්මන්ට් පැත්තේ රැකියාවක් කරනවා. නාඩගම්කාරයෝ ඔබේ ප්‍රථම නිර්මාණයද? ඔව්, මගේ ප්‍රථම රඟපෑම. කොහොමද අවස්ථාව ලැබෙන්නේ... මගේ ඥාති සහෝදරයකුගේ මාර්ගයෙන් නාට්‍යයේ අධ්‍යක්ෂ චාමර අයියාව හඳුනා ගන්නවා. ඊට පස්සේ ඔඩිෂන් එකකින් ගිහින් තමා මාව​ තෝරාගන්නේ. මේ චරිතය ලැබුණම මොකද හිතුණේ? හිතාගන්න බැරිවුණා. මොකද රංගනය ගැන කිසිම අත්දැකීමක් නැහැ. නමුත් නර්තනය ගැන යම් හැකියාවක් තිබුණ නිසා රඟපානවා කියලා හිතුවා. චරිතය ගැන දැනගෙනමද ගියේ... ඔව්, මගේ චරිතය ගැන ලොකු අවබෝධයක් ඇතුවමයි ගියේ. බයක් තිබුණේ නැද්ද? ඇයි නැත්තේ... මගේ දෙමාපියෝ මීනා කුමාරි සහ ප්‍රසන්නජිත් සර්. මගේ සහෝදරිය සෙනාලි ෆොන්සේකා. මේ අය අතරේ මම පුංචි කෙල්ලෙක්. ප්‍රථම අත්දැකීම දැනුණේ කොහොමද? මගේ පවුලේ අයත් සමග ගෙදර සිදුවීමක් මුලින්ම රූපගත කළේ. මම බයෙන් උන්නට ප්‍රවීණ නළු නිළියන් කීපදෙනා මගේ බය නැති කළා. විශේෂයෙන්ම ප්‍රසන්නජිත් සර් අඩුපාඩු කියලා දෙන ආකාරයට මගේ බය නැතිවෙනවා මටවත් දැනුණේ නැහැ. ඔබ මාස්ටර්ගේ දුව වගේ කෙනෙක්ද? මමත් සැහැල්ලුවෙන්, දඟකාරකමින් ඉන්න යුවතියක් කියලා කිව්වොත් නිවැරදියි.

බස් එකේ යනකොට ලැබෙන ප්‍රතිචාර ඉහළයි

නුවර ඉඳන්මද ෂූටින්වලට එන්නේ... ඔව්. දවස් දෙක තුනක් ෂූටින් තියෙනවා නම් කොළඹ නවතිනවා. ආරක්ෂාවට කවුද ඉන්නේ... මුලින්ම ගෙදරින් කවුරු හරි එනවා. නමුත් නාඩගම් කාරයෝ සමග වැඩ කරනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා මම තනියම එනවා. ක්ෂේත්‍රයේ එහෙම ගැහැනු ළමයෙක්ට තනියම එන්න පුළුවන්ද? තමන් හරියට උන්නේ නැත්නම් කොයි ක්ෂේත්‍රයේත් ඉන්න බැහැ. මතක තියාගන්න ඕන හැම වෙලාවෙම තමන්ගේ ආරක්ෂාව තියෙන්නේ තමන් ළඟමයි කියලා. නාට්‍යයේ කෙතරම් කොටස් ප්‍රමාණයක් නිම කළාද? දැනට කොටස් 80කට වඩා ඉවරයි. ඔබ දිගටම රඟපානවා..? අනිවාර්යයෙන්ම. මොනවද ඔබ අතින් සිදුවන අඩුපාඩු? මුල්ම දවස්වල ඩයලොග් මතක නැති වෙලා තිබුණා. ඊට පස්සේ කටපාඩම් කළා. නමුත් චරිතය හිතෙන් මවාගෙන රඟපාන හැටි ප්‍රසන්නජිත් සර් කියලා දුන්නා. සමහර වෙලාවට කැමරා කීපයක් තියෙනවා කියලා මට අමතක වෙනවා. අඩුපාඩු හදාගෙන තමයි මේ ගමන ඉස්සරහට එන්නේ. වෙනත් නාට්‍යවලට සම්බන්ධ වුණේ නැද්ද? ඒකාංගික ටෙලි නාට්‍යයක රඟපෑවා. වෙනත් නාට්‍යවලට නම් කතා කරලා නැහැ. ඔබේ චරිතයේ ඉදිරි විකාශනය කොහොමද? මුලින්ම වැඩිපුර සද්ද නැතිව උන්න කෙල්ල දැන් හොඳ කටකාරියක් වෙලා. ඉදිරියේදී ප්‍රේමවන්තියක් වෙන්නත් පුළුවන්. දිගටම බලාගෙන ඉන්නකෝ... ඉස්සර ඉඳන්ම නාට්‍ය බලනවාද? අපෝ ඔව්. පේරාදෙණිය වළේ පෙන්නන හැම නාට්‍යයක්ම බලන්න ගියා. රූපවාහිනියෙන් ටෙලි නාට්‍ය බලන්න හරිම කැමතියි. මොනවද ඔබේ සිත්ගත් නාට්‍ය? තණමල්විල කොල්ලෙක් මාර කැමැත්තෙන් බැලුවා. කූඹියෝ සහ බැද්දේ කුලවමිය කියන නාට්‍යවලටත් හරිම කැමතියි. කලා ලෝකයේ ඔබට වීරයෙක් උන්නද? මම මුලින්ම ආදරණීය වස්සානය බැලුවේ මට මොකුත්ම නොතේරෙන කාලයේ. ඕලෙවල් කරන කාලේ ඒක බලනකොට මට තේරුණේ චුට්ටයි. හැබැයි ඒලෙවල් කරනකොට මම ඒ කතාව වෙනස්ම විදිහකට දැක්කා. මට මොකුත් නොතේරෙන කාලේ ඉඳලාම රොෂාන් රවීන්ද්‍රගේ රංගනයට පුදුම කැමතියි. මොකක්ද විශේෂත්වය... ඒක හිතාගන්න බැහැ. ඔහු හැරුණත් එතැන අමුතුම කලාවක් තියෙනවා. වීරයා ගෙදර ඇවිත් සහ සහෝදරයා යන නාට්‍යවල හැම ඉරියව්වක්ම මට මතකයි. ඊළඟ නාට්‍යය රඟපාන්න රොෂාන් ඔබට කතා කළොත්... මට හිතාගන්න බැහැ. ඇත්තටම එහෙම වෙයිද? රංගනය තෝරගත්තට ගෙදරින් කැමතිද? අකමැත්තක් නැහැ. නමුත් ඔවුන් මාව විශ්වාස කරනවා. ක්ෂේත්‍රය තුළ විවිධ අය මුණ ගැසෙනවා. මම දන්නවා ඔවුන් කොතෙක් දුරට ළංකරගත යුතුද කියලා. ​ඔබේ නාට්‍යය මේ දිනවල අතිශයින්ම ජනප්‍රියයි. සම්මානත් ලැබෙනවා. ඒ සතුට කොහොමද බෙදාගන්නේ... ජනප්‍රිය නළුවා සම්මානයට අපේ හතර පස්දෙනෙක් ඉදිරියෙන් උන්නා. අපි එස්එම්එස් කරලා ඔවුන් ඉස්සරයට ගන්න උත්සාහ කළේ නැහැ. ජනතාවගේ කැමැත්තෙන්මයි ඔවුන් ඉස්සරහට ආවේ. ඒ ජනතා කැමැත්ත ඉස්සරහා අපි පුදුමාකාර සතුටක් ලබනවා. ලබන අවුරුද්දේ ඔබත් ජනප්‍රිය නිළියන්ගේ ලැයිස්තුවේ ඉඳියිද? උත්සාහ කරනවා. මමත් කැමතියි මගේ නම ඒ අතරට අරගෙන යන්න. හැබැයි එය ජනතාව මා හට ලබාදිය යුතුයි. නැතුව බලෙන් එස්එම්එස් ලබාගෙන එතැනට එන්න කැමති නැහැ. ඔබ ජනතාවගේ හිතේ ඉන්නවද? මම හිතනවා බොහෝ දෙනෙක් දැන් මාව දන්නවා කියලා. පාරේ බස් එකේ යනකොටත් මාව හඳුනා ගන්නා තැනට පත්වෙලා තියෙනවා. විස්තර අහනවා, සෙල්ෆි ගන්නවා. ඒ ආදරය තමයි වැඩිදියුණු කරගන්න ඕන. සුමති සම්මාන උළෙලට ආරාධනා ලැබුණේ නැද්ද? ආරාධනා ලැබුණා. නමුත් එන්න බැරිවුණා. ඔබ වෘත්තීය මට්ටමේ නිළියක්​ වෙන්න කැමතිද? එහෙම හිතලා නැහැ. කරන වැඩේ හොඳට කරනවා. මම හිතන්නේ තමන්ට පැවරෙන හැම දෙයක්ම වෘත්තීය භාවයකින් කළ යුතුයි. ඔබ ප්‍රේමවන්තියක්ද? තවම නැහැ. ඇයි ප්‍රමාද... ඒක හදවතට දැනෙන්න ඕන දෙයක්. තාම දැනුණේ නැහැ.

කැමති කෙනා නොලැබුණොත් මෙහෙම ඉන්නවා

නොදැනුණොත්... නොදැනුණොත් හැමදාම මෙහෙම ඉඳියි. කිසිම දේකට මා තුළ හදිස්සියක් නැහැ. පිළිවෙළට ජීවිතේ ගළපා ගන්න උත්සාහ කරනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..