brand logo

රෙදි කඩේ ලියා තැබූ දුරකථන අංකයට අයුතු යෝජනා

16 February 2021

ගාල්ල කළුවැල්ලේ පිහිටි රෙදිපිළි වෙළෙඳසලකට ඇඳුම් ගැනීමට ගොස් තමාගේ නම සහ ජංගම දුරකතන අංකය ලියා තැබූ කාන්තාවකට ජංගම දුරකතනය මගින් අයුතු බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මේ දිනවල පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා බොහෝ ආයතනවල සහ ප්‍රධාන පෙළේ වෙළෙ​ඳ ආයතනවල පැමිණෙන අයගේ නම සහ ජංගම දුරකථන අංකය සටහන් කිරීමට පොතක් තබා ඇති අතර ගාල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් තම දරුවාට ඇඳුමක් ගැනීම සඳහා මෙම වෙළෙඳසලට ගොස් තමාගේ නම සහ දුරකථන අංකය පොතේ ලියා ඇත. මේ අතර එදිනම රාත්‍රි ඇයගේ ජංගම දුරකථනයට කතා කළ පුද්ගලයෙකු ඇයට අයුතු යෝජනා කිරීමට පටන් ගෙන තිබේ. අවස්ථා කිහිපයකදීම එසේ ඇමතුම් ලබාදී ඇති අතර පසුව කාන්තාව එම පුද්ගලයාට බැණවැදී ඇත. පසුව වෙනත් පුද්ගලයන්ද ඇයගේ දුරකථනයට කතා කර දිගින් දිගටම අයුතු යෝජනා කිරීමට පටන්ගෙන ඇති අතර එක් අවස්ථාවක පළමුවෙන්ම කතා කළ පුද්ගලයාගේ ඡායාරූපයක්ද ඇයගේ ජංගම දුරකථනයට ලැබී ඇත. ඒ අනුව එම පුද්ගලයා තමා ඇඳුම් ගැනීමට ගිය වෙළෙඳසලේ සේවකයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු එම කාන්තාව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇත. ගාල්ල පොලිස් අධිකාරි දුල්ශාන් නාගහවත්තගේ උපදෙස් පරිදි ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා ඒ. අල්ගෙවත්ත ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වා ගෙනයනු ලැබේ. ගැමුණු චන්ද්‍රලාල් - ගාල්ල
 

More News..