brand logo

රූප සුන්දරියන් වැනි දියණියන් රැකීමට පියා ඇටවූ උගුල

15 January 2021

රූප සුන්දරියන් වැනි දියණියන් තිදෙනකු නිදා ගන්නා කාමරය අසල කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ සැඟවී සිටි භූතයකු බොරු වළකට වට්ටවා ගස් බැඳ පොලිසියට භාරදුන් පුවතක් දකුණු පළාතේ ගම් පෙදෙසකින් අසන්නට ලැබේ. මව්පිය රැකවරණය යටතේ සිටි එම දියණියන් තිදෙනාට තිබුණේ එකිනෙකා පරදවන රූප ස්වාභාවයකි. මේ නිසා ගමේ ගැටවුන්ගේ නෙත්සිත් මොවුන් දෙසට යොමු වූයේ ඉබේටමය. එහෙත් ඒ දියණියන් ඉගෙනුමට මුල්තැන දුන්නා විනා සිහින ලෝකවල අතරමං වූයේ නැත. එහෙත් ගමේ සිටි තරුණයකු මේ දියණියන් අතරින් දෙවැනි දියණියට සිතින් පෙම් බැන්දේය. මොහු ඇය පිළිබඳ නිතර රහසින් සොයා බැලූව ද ඇය ඒ ගැන කිසිවක් නොදත්තාය. කාලය ගෙවී ගියේය. සෑම දිනකම රාත්‍රී කාලයේ තම කාමරය අසල කවුරුන් හෝ සැරිසරන බවට සැක පහළ වූ නිසා දියණියෝ පියාට මේ ගැන පැවසූහ. පියා ද දින ගණනක් නිදි වරා සැඟවී සිටියද, කිසිදු හෝඩුවාවක් දක්නට නොලැබිණි. සිතට මහත් වද දෙන කැකෑරෙන ප්‍රශ්නයක් වූ මෙය අදෘශ්‍යමාන බලවේගයක් යැයි සිතා සාත්තර බලමින් නිවසේ ආරක්ෂාව පතා ශාන්තිකර්ම කළද කිසිදු ප්‍රතිඵලයක් නොලැබිණි. මේ අතර අසල්වැසියකු දුන් උපදෙස් අනුගමනය කරමින් පියා නිදන කාමරය අසල බොරු වළක් කපා කිසිදු සැකයක් නොසිතන සේ සකස් කළේය. හෝරා දෙකක් ගතවන්නටත් පෙර දියණියගේ කාමරයේ ජනේලය අසලින් පුද්ගලයකුගේ මර හඬක් ඇසෙන්නට විය. වහා ක්‍රියාත්මක වූ නිවැසියන් එතනට යද්දී දැක ගැනීමට හැකිවූයේ අඩි තුනක් පමණ ගැඹුරු වළෙන් ගොඩ ඒමට නොහැකිව දඟලන අසල්වැසි තරුණයෙකි. දියණියන් හා පියා අසල්වැසියන්ට ද කතා කොට තරුණයා ගස් බැඳ රාත්‍රියේම පොලිසියට භාරදීමට කටයුතු කළෝය. ​පොලිසිය තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ‘‘තම සිත් ගත් යුවතියගේ කට හඬ ඇසීමත් ලොකු සතුටක් නිසා රාත්‍රියේ දී ජනේලය අසලට පැමිණ කාටත් හොරෙන් මද්දුමීගේ කට හඬ අසා සිටින බවය." තමා තුළ දියණියන්ට කිසිදු කරදරයක් කිරීමේ චේතනාවක් නොතිබූ බවද ඔහු පැවසීය. තරුණයාගේ බැගෑපත් විලාසය හා ඔහු පැවසුවේ අසත්‍යයක් නොවන බව වැටහුණු බැවින් මින් මතු මෙවැනි නොහොබිනා ක්‍රියා සිදු නොකරන ලෙස තරයේ අවවාද කොට පියා සහ දියණියෝ තරුණයා තම ග්‍රහණයෙන් මුදා හැරියේය. ඇම්.ඒ. ප්‍රේමසිරි - ඉඳුරුව
 

More News..