brand logo

රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තේ ලේ සෙලවීමක් වැළැක්වීමටලු

17 September 2019

වෙනදාට ‘ප්‍රී කැබිනෙට්ටුව’ කට් කරන ඇමැතිවරයෙකු වන රුවන් විජේවර්ධන පසුගිය සතියේ ‘ප්‍රී කැබිනට්ටුවට’ පැමිණ තිබුණේය. ඒ තමන්ට පැමිනුණේ දුකක් කරදරයක් සැල කර සිටින්නටය. ‘‘මුල ඉඳන් ම ජනාධිපතිතුමා නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන නිසි ආකාරයෙන් පවත්වාගැනීමට බාධා සිද්ධ වුණා... එතුමා නිතරම මේවායේ වැඩවලට ඇඟිලි ගහනවා... මම විෂය භාර ඇමතිවරයා හැටියට ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට පත් කළ කැළුම් පාලිත මහීරත්න වැඩ භාර ගන්න ගියාම දැනට සිටින සභාපතිවරිය කැළුම්ව පන්නාගෙන තියෙනවා... මේක හරියට මට කරපු ‘ඉන්සල්ට් එකක්’ වගේ.... මේ හැම දේකට ම මුල ජනාධිපතිවරයා තමන්ගේ බලය අනිසි විදියට පාවිච්චි කිරීම...‘‘ රුවන් තමන් මුහුණ දී සිටින අවුල කියාගෙන කියාගෙන ගියේ ය. ‘‘දැනට ඉන්න සභාපතිවරිය පත් කළේ මංගලගෙ කාලෙනෙ... අපි මංගලට කියමු, එයාව ඉවත් කරලා දෙන්න කියලා...’’ එක් මන්ත්‍රීවරයෙකු කීවේය. ‘‘මම කිව්වා එයාට අයින් වෙන්න කියලා... ඒත් එයා අයින් වුණේ නැහැ... මට දැනෙන විදියට එයා ජනාධිපති බලයේ පිහිට පතන කෙනෙක්...’’ මංගල කීවේය. ‘‘එහෙනං මෙහෙම වැඩක් කරමු... රුවන් ට තනියෙන් කරන්න බැරි වැඩේ, අපි වැඩි දෙනෙක් එකතු වුණොත් කරන්න පුළුවන්... අපි ඇමතිවරු කණ්ඩායමක් හැටියට රූපවාහිනියට ගිහිල්ලා, කැළුම් පාලිතව සභාපති පුටුවේ ඉන්දලා එමු...’’ රාජිත කීවේය. ‘‘ඒ වැඩේ නං හොඳයි... අපි එහෙම කරමු...’’ රාජිතගේ යෝජනාවට වැඩිදෙනෙකුගේ කැමැත්ත පළ වූ නමුත් ඔවුන්ට එය ක්‍රියාවට නංවන්නට නොහැකි විය. එසේ වූයේ මෙම කතාබහ එසැණින් ම ජනාධිපතිවරයාගේ කනට යෑම නිසාය. ඒ එතැන සිටි එ.ජා.ප. ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු විසින් ලබාදුන් දුරකථන ඇමතුමක් නිසා ය. කෙසේවෙතත් මේ ආරංචිය අනුව ඉක්මනින්ම ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයායෙන් මාධ්‍යවේදීන්, පුරවැසියන් අතර පුළුල් කථිකාවතක් ඇරඹුණු අතර තිස් අවුරුදු යුද්ධය සමයේදීවත්, රාජ්‍ය මාධ්‍ය ආයතන ආරක්ෂක අමාත්‍යංශයට පවරා නොගත් බව කියැවුණි. එමෙන් ම මෙය ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහාය පළ කරන කණ්ඩායමට සේවයට ගත හැකි මෙවලමක් වනු ඇති බව ද කියැවුණි. එහෙත් ඒ සම්බන්ධයෙන් පසුව ජනාධිපතිවරයා පවසා තිබුණේ මෙසේ ය. ‘‘එදා රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තෙ ඔය එක හේතුවක් හින්දවත් නෙවෙයි... ඇමතිවරු ගණනාවක් ගිහිල්ලා රූපවාහිනිය ඇතුළෙ කලබලයක් කරන්න උත්සාහ කරපු හින්දයි... ඒ දේ ඒ විදියට වෙන්න ඇරියනං ලේ හොල්ලගැනීමකින් මෙහා කෙළවර වෙන්නෙ නෑ...’’ කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් වඩාත් සිත් තැවුලට පත් වූ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ජනාධිපතිවරයා වෙත ‘ලිඛිත විරෝධයක්’ පළ කළේ ය. ඒ ‘උපරිම මාධ්‍ය සදාචාරයක් ගැන කතා කරන ඔබ අවම සදාචාරයවත් ආරක්ෂා කරමින්, රූපවාහිනිය පවරාගන්නට පෙර විෂයභාර අමාත්‍යවරයා වූ තමන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට තිබුණා නොවේදැ’යි අසමිනි.
 

More News..