brand logo

රු.1000ක් ඉල්ලා වතුකම්කරුවන් අද සිට සටනට

23 January 2019

වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග අද (23දා) උදෑසන සිට ආරම්භ කරයි. එය සිදු කරනු ලබන්නේ වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය විසින් වන අතර තෝරාගත් වතුවල උදෑසන 7.00 සිට වැඩවර්ජනයක් දියත් කරන බවත්, මීට අමතරව රට පුරා ස්ථාන 27ක විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් එම ව්‍යාපාරය සඳහන් කළේය. සියලුම වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගි වන මෙම විරෝධතාව කොළඹ නගරයේදී ආරම්භ වේ. මෙම ක්‍රියාමාර්ගවලට සහයෝගයක් වශයෙන් රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, අග්නිදිග, සබරගමුව, රජරට, කැලණිය, වයඹ, පේරාදෙණිය යන විශ්වවිද්‍යාල ඉදිරිපිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විරෝධතා පැවැත්වීමට නියමිතව ඇත. විශ්වවිද්‍යාල 08ක් ඉදිරිපිට සිදුකරන විරෝධතාවලට අමතරව කොළඹදී පැවැත්වෙන ප්‍රධාන විරෝධතාවටද විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍යයන් සහභාගි වීමට නියමිත බවටද ඔවුන් සඳහන් කරයි.
 

More News..