brand logo

රු. ලක්ෂ 21ක මුදලක් වංචා කළාට වසර 367ක සිර දඩුවමක්

06 December 2019

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් පෞද්ගලික සමාගමට අයත් රුපියල් විසි එක් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු එම ආයතනයේ සේවය කළ ගණකාධිකාරීවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද (06) විසින් බරපතළ වැඩ සහිත වසර 367 සිර දඬුවම් නියම කරන ලදී. සමාජයේ සිටින අනෙකුත් වංචාකාරී පුද්ගලයින්ට ද ආදර්ශයක් විය හැකි ආකාරයෙන් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් ලක්ෂ 21 ක දඩයක් ද නියම කරනු ලැබීය. සිරදඬුවම් නියම වී සිටින හික්කඩුව ලියනගේ නන්දසිරි නමැති විත්තිකරු මේ වන විට අධිකරණය මගහැර පළාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කරන ලදී 2000 වසරේ ජනවාරි මස 4 වනදා සහ 2001 වසරේ ජනවාරි මස 3 වනදා අතර කාලසීමාව K Sports නැමති පුද්ගලික සමාගමේ ගණකාධිකාරී වරයෙකු ලෙස සේවය කළ විත්තිකරු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එම ආයතනයට අයත් රුපියල් 2199130/- ක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 19 ක් යටතේ නඩු පවරා තිබුණි. නඩු විභාගය අතරතුරදී විත්තිකරු අධිකරණය මග හැර පලා ගොස් සිටි අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සියල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම ප්‍රකාශයට පත් කරන ලදී. (අධිකරණ වාර්තාකරු )
 

More News..