brand logo

අල්ලස් ගත් නිකවැරටිය හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවම්

23 January 2020

අභ්‍යාසලාභී ගුරුවරයෙකුගේ සේවය ස්ථිර කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 10 ක සිර දඬුවම් නියම කරන ලදී. නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි රෝහිනී කුමාරිහාමි නැමති විත්තිකාරියට මෙසේ දඬුවම් නියම විය. එම සිර දඬුවමට අමතරව විත්තිකාරිය ට රුපියල් 20000/- ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව බරපතළ වැඩ සහිත වසර 02 ක සිර දඬුවම් නියම කරන බව ද සිය තීන්දුවේ සඳහන් කර සිටියේය. විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ දෙකක දණ්ඩනයන් ද ගෙවිය යුතු බවත් එම දණ්ඩන මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ අමතරව බරපතළ වැඩ සහිත එක් වසරක සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුවේ ප්‍රකාශ කර තිබේ. 2016 වසරේ ජුනි මස 01 වනදා සහ එම වසරේ ජූලි මස 01 වනදා අතර කාලසීමාව තුළ නිකවැරටිය ප්‍රදේශයේ පාසලක සේවය කළ අභ්‍යාසලාභී ගුරුවරයෙකුගේ සේවය ස්ථිර කිරීම සඳහා මෙම විත්තිකාර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. අනතුරුව එම මුදල අදාළ ගුරුවරයාගෙන් අල්ලසක් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි ඉන් පසුව අල්ලස් කොමිසම විසින් විත්තිකාරියට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා හතරම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය. ඒ අනුව විත්තිකාරියට මෙම දඬුවම් ප්‍රකාශයට පත් කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය. (අධිකරණ වාර්තාකරු )
 

More News..