brand logo

රු. කෝටි 162ක් වංචා කළ සක්විතිට වසර 9කට පසු ඇප ලැබෙයි

10 June 2019

රුපියල් කෝටි 162කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වසර 9කට අධික කාලයක් රක්ෂිත බන්ධානාගාරව සිටි චන්දන විරකුමාර හෙවත් සක්විති රණසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදල් තැන්පතු ලබා ගෙන ඒවා සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු තුනක් සම්බන්ධයෙන් වසර නවයකට ආසන්න කාලයක් සක්විති රණසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. 2006 වසරේ නොවැම්බර් මස 01 වනදා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 31 වැනිදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව සක්විති හවුසිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නමින් මූල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් එහි තැන්පත් කර තිබු මහජනතාවට අයත් රුපියල් කෝටි 162 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් සක්විති රණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් ගොනු කර තිබුණි. එම නඩු සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙම විත්තිකරු මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියම කර තිබුණි. එමෙන්ම තවත් නඩුවක් සඳහා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරු මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් නියම කරන ලදී.
 

More News..