brand logo

ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 706 සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනාගේ සබඳතා සම්බන්ධයෙන් විමර්ශනයක්

09 February 2020

මන්නාරම තාරපුරම් මංසන්ධිය අසල මාර්ග බාධකයේදී රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් විදේශිය නෝට්ටු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා පැවැත්වු සබඳතා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බව මන්නාරම පොලිසිය පවසයි. රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් විදේශිය මුදල් නෝට්ටු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය 04 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය පැවසූවේ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 706 මෙලෙස යතුරු පැදියේ සඟවා රැගෙනයමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි. විදේශ මුදල් තොගයක් පිළිබඳව මන්නාරම යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලිස් නිලධාරීන් සමඟ ඒකාබද්ධව තාරපුරම් මංසන්ධිය අසල සිදුකළ රථවාහන පරීක්ෂාවකදී මුදල් නෝට්ටු රැගෙන පැමිණි එක් සැකකරුවකු ප්‍රථමයෙන් අත්අඩංගුවටගෙන තිබේ. අදාළ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී පොලිසිය විසින් අනෙක් සැකකරු අත්අඩංගුවටගෙන තිබිණ. යතුරු පැදියේ අසුන යට සූක්ෂම ලෙස විදේශ මුදල් තොගය සඟවා රැගෙනයමින් සිටියදී පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්හ. සැකකරුවන් දෙදෙනා වෙත මුදල් ලැබීම සම්බන්ධයෙන් හා සැකකරුවන් නීති විරෝධී ජාවාරමක් සිදුකිරීම සදහා මෙම මුදල් භාවිතා කරන්නට උත්සහ කළේද යන්න විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය. අත්අඩංගුවටගත් සැකකරුවන් මන්නාරම හා තලෙයිමන්නාරම පදිංචි අවුරුදු 19ත් 38 අතර වයසේ පසුවෙන්නෝ වෙති. සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවද පොලිසිය පැවසූහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..