brand logo

රුසියාවේ එන්නත දීමේ ප්‍රමාදයක්

08 May 2021

කොවිඩ් තුන්වැනි රැල්ලට මුහුණ දීමට එකම විසඳුම එන්නත්කරණය බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබියදීත් එන්නත්කරණ වැඩපිළිවෙළ සෞඛ්‍ය අංශවල කඹ ඇදිල්ලෙන් ප්‍රමාද වෙමින් පවතින බව කොවිඩ් මර්දන කමිටුවේ දී හෙළි වී ඇත. රුසියාවෙන් ගෙන ආ ස්පුට්නික් එන්නත මෙරටට ගෙනැවිත් දින හතරක් ගත වෙද්දීත් නිසි සැලසුමකට එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශවලින් නිදහසට කරුණු විමසා තිබේ. ස්පුට්නික් එන්නත මෙරටට ගෙනැවිත් සිව්වැනි දවසේත් පුද්ගලයන් පනහකට පමණක් එන්නත් කිරීමට සෞඛ්‍ය බලධාරින් සැලසුම් කරන බව හෙළිවීමෙන් පසු ජනාධිපතිවරයා මැදිහත් වී එම ක්‍රියාවලිය කඩිනම් කිරීමට උපදෙස් දී ඇත. එන්නත මෙරටට රැගෙන විත් දින කිහිපයකට පසු එන්නත ලබා දිය යුත්තේ කව්රුන්ද යන්න සෙවීමට සෞඛ්‍ය අංශ කල්මරමින් සිට ඇතැයි හෙළි වී තිබේ. කල්තියා මේ පිළිබඳ සැලසුම් කළ හැකිව තිබියදීත් සෞඛ්‍ය අංශවල කඹඇදිල්ලෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ පසුපසට යන බව දැනට අනාවරණ වී ඇත. ලෝකයේ රටවල් 45 ක් භාවිත කරන චීන එන්නත් ලක්ෂ හයක් මහජනතාව වෙත ලබා නොදී ගොඩගසාගෙන ඇත්තේද සෞඛ්‍ය අංශවල මෙම කඹ ඇදිල්ලෙන් බව හෙළි වී ඇත. එන්නත්කරණ වැඩපිළිවෙළ හා කොවිඩ් මර්දන ක්‍රියාවලිය බිඳ දමා පීසීආර් මාෆියාවක් මගින් මුදල් ගසා කෑමේ නිරත පිරිසක් මේවා පිටුපස සිටීද යන්න හඳුනා ගැනීමට දැනටමත් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සනාථ කළේය. පී.සී.ආර්. මාෆියාව ගැන දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයක් ඇරඹී ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..