brand logo

රුසියන් කතකට ලාංකික තරුණයකුගෙන් හිරිහැර

07 July 2020

ගාලු මුවදොර පිටියේදී තමාට සහ තම මිතුරන් තිදෙනකුට ශ්‍රී ලාංකික තරුණයකු විසින් හිරිහැර කළ බවට රුසියානු ජාතික තරුණියක් විසින් චෝදනා කර ඇත. ඇනස්ටසියා එප්‍රිල් නමැති මෙම තරුණිය එම සිදුවීමට අදාළ වීඩියෝවක්ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මුදාහරිමින් මෙම චෝදනාව එල්ල කර ඇත. මෙම රුසියානු කාන්තාවකට හිරිහැර කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු කොළඹ කොටුව පොලීසිය මගින් ඊයේ(06) අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (07) දිනයේ දී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මිතුරන් තිදෙනකු සමග ඇවිද යමින් සිටියදී අදාළ පුද්ගලයා සමග සිටි ශ්‍රී ලාංකිකයන් දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ඇයට හිරිහැර කර පහරදීමක් ද සිදුකර ඇති බවත් විදේශික තරුණිය පවසයි. ඉරිදා(05) සවස මාගේ මිතුරන් තිදෙනකු සමග අප ගාලු මුවදොරට ගියේ ඇවිදින්නටය. එහිදී බීමත්ව සිටින බව පැහැදිලිවම දක්නට ලැබුණු එක්තරා තරුණයකු මට හිරිහැර කරන්නටත්, අපහාස කරන්නටත් පටන් ගත්තා. මුලදී අප ඊට ප්‍රතිචාර දක්වන්න ගියේ නැත. නමුත් ඔහුත්, ඔහු සමග සිටි මිතුරන් දස දෙනකු පමණ සංඛ්‍යාවකුත් අප පිටුපසින් ගමන් කළා. මගේ මිතුරා මා ආරක්ෂා කරන්නට උත්සාහ කරමින්, ඔහුට නවතින්නැයි කී විට පෙර කී තරුණයා මගේ මිතුරාට පහර දුන්නා. මගේ ජංගම දුරකථනය මගින් එය පටිගත කිරීමට මා උත්සාහ ගත් නිසා කලහ කර ගැනීම නතර කළේ ඔවුන් අතරින් කිහිප දෙනකු පමණයි. මෙම සිදුවීම බොහෝ දෙනා (ඒ දෙස බලා සිටිනු හැරෙන්නට එය නතර කරවීමට ඉදිරිපත් නොවූ) ගැවසුණු පොදු ස්ථානයක සිදු වුණත්, මෙවැනි තත්ත්වයකදී කෙනකු බේරා ගැනීමට කිසිවකු හෝ ඉදිරිපත් වන්නේ නැහැ. සිදුවීම අතරවාරයේ අප පොලිසිය ඇමතුවා. ඔවුන් එතැනට පැමිණියේ විනාඩි 20 කට පමණ පසුවයි. ඒ වන විට එම තරුණ පිරිස එතැනින් ඉවත්ව ගොස් අවසන්. අප පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් කළා. මෙලෙස සිය අත්දැකීම සටහන් කරන රුසියානු තරුණිය ප්‍රශ්නයක්ද නගා ඇත්තේ ‘‘ශ්‍රී ලංකාව කාන්තාවන්ට ආරක්ෂිත රටක්ද?’ අවම තරමින් තම මිතුරු මිතුරියන් සමග මෙහි ආරක්ෂිතව කාලය ගත කිරීමේ හැකියාව විදේශීය තරුණියකට තිබෙනවාද? යනුවෙනි.  
 

More News..