brand logo

රුවන්වැලිසෑයේ මගමානවක

14 February 2019

වෙලාව  අලුයම 3.30ය. බොහෝ විට රාත්‍රී සේවා මුරයක නිරත පිරිස් හැර  බොහෝ දෙනෙක්  සුව නින්දේ ඉන්නා වෙලාවකි. මේ වෙලාවටම පුරුද්දට අවදිවෙන පාලිත  තිලකරත්න  මුව දොවා පිරිසිදු වී, සුදු හැඳ, මල් දෝතක්ද නෙළාගෙන නිවසේ සිට මීටර් 750  ක් පමණවන්නට මෑතින් පිහිටි මහා සෑය කරා පියනගන්නේය. පාලිතගේ ගමනේ හඬ ඇසී  පාන්දර අවදිවන ගැමියෝද වෙති.
ඒ වෙලාව ඔරලෝසුවකට වඩා ඔවුහු විශ්වාස  කරන්නේ ඔවුන්ට වසර දොළහක් පුරා පාලිතගේ අලුයම් සක්මන හුරුව ඇති බැවිණි.  අසිරිමත් පිංකෙතක් බඳු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන්  වහන්සේලා වැඩ සිටින පූජනීය රංවැලි සෑ පිවිසුමේ රාජකාරි කරන පොලිස්  නිලධාරින් ද පාලිත හොඳින්ම හඳුනයි.
වසර දොළහක් පුරා අලුයම රුවන්වැලිසෑය වෙත ඔහු මේ ගමන එන්නෙ අතිශය වැදගත් පිංකමක් උදෙසාය.  ලංකාවේ පමණක් නොව ලොව නන්දෙසින් මහාසෑය වන්දනාවට පැමිණෙන බැතිමතුන් විසින්  පෙර දිනයේ පූජා කරන ලද මල් ඉවත් කර මල් ආසන පිරිසිදුකර මල් ආසන සෝදා සුවඳ  පැන් ඉස මල් ආසන සහිත පිළිම ගෙවල් පිරිසිදු කර ඒ පිළිම වහන්සේලා මහත්  භක්ත්‍යාදරයෙන් දෝවනය කර තෙත ඉවත් කර සම්පූර්ණ රුවන්වැලි සෑ මළුව නැවුම්  දවසක් වෙනුවෙන් උවැසි උවැසියනට උපකාර පිණිස සූදානම් කෙරුමටය.
 මේ සේවය  කිසිවකුත් විසින් නොපැවැරූ, කිසිවෙකුත් වැටුප් නොගෙවන ශ්‍රද්ධා ගුණ මතක  රුවන්වැලි සෑය ගැන උපන් ආදර කරුණාවෙන්ම සිදු කෙරෙන්නකි.
පාලිත  තිලකරත්න යනු ලංකාවේ සිටින කුසලතා පූර්ණ නිර්මාණ  ශිල්පියෙකි. ලක්ෂ ගණනක්  මිනිසුන්ගෙ ඇස් පිනායන හිත් නිවෙන, පිං වැඩෙන නිර්මාණ රැසක නිර්මාපකයෙකි.  එච්.බී. තිලකරත්න මහතාට හා කරුණාවතී තිලකරත්න මහත්මියට දාව 1966 ජූනි 24  වනදා මිහින්තලේ කහපත්විලගම උපන් පාලිත පවුලේ වැඩිමලාය. ඔහුට බාල සොයුරන්  සිව් දෙනෙකුද සොහොයුරියන් තුන්දෙනෙකුද වේ.
කහපත්විලගම ගමේ  ඉස්කෝලෙන් අධ්‍යාපනය ලද පාලිතට, යොවුන් වියේදීම සංස්කෘතික ත්‍රිකෝණයට අදාළ  ජේතවන ව්‍යාපෘතියේ මුරකරුවෙකු ලෙස පත් වෙන්නට හැකි වීම ඔහුගේ ජීවිතයේ  මාවත සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට හේතු විය. රාත්‍රී මුර සේවයේ සිටින පාලිත   දවල් කාලයෙ අනුරාධපුර කාර්මික විද්‍යාලයෙන් පෙදරේරුවකු ලෙස විධිමත් පුහුණුව  ලැබීය. NVQ 4 සහතිකය මෙන්ම එහිම ඩිප්ලෝමා මට්ටමද NVQ 05 ද ඔහු සමත් විය.  ඔය අතර දිනෙක පුරාවිද්‍යා  ජේතවන ව්‍යාපෘතියටම මේසන්වරු බඳවා ගැනීමේ  අවස්ථාවක පාලිතද ඒ සඳහා ඉල්ලුම් කළේය.
 අවශ්‍ය සුදුසුකම් සපුරා සිටි ඔහුට  ජේතවන ව්‍යාපෘතියේම පුහුණු ශ්‍රමික රැකියාව ලැබුණි.
 ජේතවන චෛත්‍යයේ  ඉදිකිරීම් සංරක්ෂණ කටයුතුවල නිරත වීමට ඔහුට ලැබුණි. ජේතවන ව්‍යාපෘතියේ  කළමනාකරුවෙකු ලෙස සේවය කළ ගජනායක මහතාද ඔහුගේ සමීප හිතවතෙකු විය. චෛත්‍ය  නිර්මාණය ගැන විවිධ ශිල්පෝපක්‍රම පාලිතට කියාදුන් කේ.ඒ. සෝමපාල නම්  වැඩිහිටි  නිර්මාණකරුවාද ඔහුට හමුවන්නෙ ජේතවන ව්‍යාපෘතිය හේතුවෙනි. ජේතවන  චෛත්‍යයේ ඉදිකිරීම් සංරක්ෂණ කටයුතු කරමින් සිටින සමයේම එම සේවයේ වැටුප් තල  පිහිටුවීමේ පරික්ෂණයෙන් අනූ ගණනක් වූ පෙදරේරුවන් අතුරින් ප්‍රථමයා වෙන්නට  පාලිත දක්ෂ විය. ජේතවන චෛත්‍යය ඉදිකිරීම්හි පිරිසක් භාරව කටයුතු කරන්නට  ඔහුට අවස්ථාව ලැබෙන්නෙ සුදුසුකම් හා දක්ෂකම් සහිත බැවිනි.
මේ කාලයෙම  පාලිත අනුරාධපුර පූජා නගරයේ සංඝමිත්තා මාවතේ ඉඩමක් ගෙන නිවසක් හදා පදිංචි  විය. අම්මා, තාත්තා ද, සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන පහසුව නිසා පාලිත හැදූ  නිවසටම පැමිණියහ. මල්ලිකා සෙනෙවිරත්න  සමග පාලිත විවාහ වන්නේ සිය පියාගේ  යෝජනාවක් අනුවය. ප්‍රීතිමත් ආදරණීය යුග දිවියක හිමිකරුවන් වන ඔවුනට  පුතෙකුද, දියණියකද ලැබුණි.
ජේතවන ව්‍යාපෘතියේ කළමනාකරුවෙකු වූ පී.වී.  ගජනායක මහතා 1986 දී පාලිතට වෙනස් අභියෝගයක් බාරදුන්නේය. ඒ පලාලි යුද  හමුදා කඳවුරේ අභිනව චෛත්‍යය ඉදිකිරීමය. එකල ගොඩ බිමින් පලාලි යාම සිහිනයක්ව  තිබු යුගයයි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් උතුරේ භීෂණය පතුරා තිබූ සමයේ  ගුවනින් පලාලි ගිය පාලිතලා පලාලි යුද හමුදා කඳවුර මධ්‍යයේ අද ද විරාජමානව  වැඩ සිටින චෛත්‍යය නිර්මාණය සිදුකළහ. ඉන් පසුව පුල්මුඩේ විහාරස්ථානයේ  චෛත්‍යය නිර්මාණයද කරනු ලබන්නේ ද පාලිතය.
දිනෙන් දින තමන්ට ලැබෙන මේ  නිර්මාණ කාර්යයන් වෙනුවෙන් පාලිත ජේතවන ව්‍යාපෘතියේ සේවයෙන් ඉවත් වෙයි. ඔහු  චෛත්‍ය නිර්මාණකරුවෙක් බවට පත්වේ. පලාලි යුද හමුදා කඳවුරේ චෛත්‍ය  නිර්මාණයෙන් පසු ඔහුට විශේෂ හෝටල්වල පෞරාණික බව ගෙනෙන පුන් කළස්, මෝල්ඩින්  නිර්මාණ කැටයම් නිර්මාණ ආදී දෑ නිර්මාණයටත් අවස්ථාව ලැබෙයි.
පාලිතගේ  තනි අධීක්ෂණය හා නිර්මාණ දායකත්වය සහිතව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට  සමීපයේම බෞද්ධාලෝක මාවතේ කළ්‍යාණි යෝගාශ්‍රමයේ 21 රියන් චෛත්‍ය  රාජයාණන්වහන්සේ නිර්මාණය කෙරෙයි. ඒ අවස්ථාව සමග විහාරස්ථාන රැසක නිර්මාණ  කටයුතු ඔහුට පැවරිණ. නාඋයන අරණ්‍යයේ චෛත්‍යරාජයාණන් වහන්සේගෙ  නිර්මාණකාර්යයද මේ සමගම ඔහුට පැවරෙයි. කඩුවෙල රණාලේ අමාදම් අරණේ චෛත්‍ය  නිර්මාණයද, ඒ ආසන්න ආරාමයක චෛත්‍ය නිර්මාණයද ඔහු විසින් සිදු කරයි. මේ සමග  ඔහුට බෝධි ප්‍රාකාර වැනි  නිර්මාණ කිරීම් රැසක්ම ලැබුණි.
මෑතක කොත්  පැලඳ වූ අනුරාධපුර පෙරිමියන්කුලම දහම් සෙවණේ චෛත්‍යරාජයාණන් නිර්මාණය  වූවේද, බෝධි ප්‍රාකාරය නිර්මාණය වූයේද ඔහුගෙ අතිනි. ඔහු සමග ධාර්මික දිවි  පෙවෙත් ගතකරමින් නිර්මාණකාර්යයන්ට දායක වන සහායක කණ්ඩායමක්ද වේ. ඒ කණ්ඩායමේ  ඔහුගේම සහෝදරයන්ද සිටියි.
අනුරාධපුර ඓතිහාසික කුට්ටම්පොකුණ රජමහා  විහාරයේ  විහාරාධිපති පවරකිත්ති ස්වාමින් වහන්සේගෙ ඇරයුමින් පාලිත  කුට්ටම්පොකුණ විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය, මළුව සැකසීම් තාප්ප සැකසීම්,  කොරවක්වගල් මුරගල් සැකසීම් මේ සියල්ලම නිර්මාණය කළේය.
ථූපාරාම  චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස සියලු මල් ආසන, දොළොස් මහේ පහන, චෛත්‍ය  ඉදිරිපිට පහන් ගෙය, ඉදිරිපිට කොරවක්ගල්  සහ චෛත්‍ය රජාණන්වහන්සේ ඉදිරිපිට  පෙත් මගේ ග්‍රැනයිට් ගල් අල්ලා සැක්සීම විශාල ගල් ගෙනැවිත් පෙත් මග  පඩිපෙළ, මෝල්ඩින් වැඩ ආදී සියල්ලේ නිර්මාණ ශිල්පියා පාලිතය. ඒ බොහො  ඉදිකිරීම් හි සම්පත් දායකයා රුවන් චන්ද්‍රසේකර මහතාය.
සිය ජීවිතයේ විශේෂම අවස්ථාවක්  ලෙස හේ මහත් භක්තියෙන් ප්‍රකාශ කරන කාර්යයක් තිබේ. ඒ රුවන්වැලි  චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන්ගේ ඉල්ලීම අනුදැනුම  පරිදි රුවන්වැලි සෑ රදුන් පිහිටි බිම මළුවේ ගල් අතර කුස්තුර  ඓතිහාසික  තාක්ෂණය භාවිතකර පිරවීමේ කාර්යයේ නිර්මාණකරුවා වීමය. මාස හයක් පුරා සිදුකළ  මේ කාර්යයට ඔහු මුල පුරන්නේ 6 දෙනෙකුගේ කණ්ඩායමක් සහිතවය. දිනෙන් දින  ස්වේච්ඡාවෙන් එක් වන පිංතුවන් හාර පන්සීය මේ පිංකමට එක්ව තිබුණි. මේ පිංකම  සඳහා ලංකාවේ නන්දෙසින් පැමිණි බැතිමතුන්ට අඟල් හයක් හෝ කුස්තුර පිරවීමට හේ  අවස්ථාව උදාකර දුන්නේ ඒ හැමට පිං රැස්කර ගැනීමට අවස්ථාව ලබාදීමටය. මේ පිංකම  රාත්‍රීන් පුරාම සිදු වූ කාර්යයකි.
මේ විශේෂ පිංකම සඳහා අනුරාධපුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයද  විවේකී සෑම මොහොතකම එක්වි තිබුණි.රුවන් වැලි සෑ මළුවේ උදෑසන පිරිසිදු  කිරීම් කටයුතු ඔහු සමග ශ්‍රද්ධාවෙන් කරන්නට කණ්ඩායමක්ද එක්වී හුරුවී පිං  කරගනිමින් සිටීමද විශේෂය. වසර 12ක සිට මේ පිරිසිදු කිරීම් පිංකම හේ  ශ්‍රද්ධා සිතින් තමන් ලද ලාභයක් සේ සලකමින් කරමින් සිටී. විශේෂම කරුණ නම්  වසර තුනක සිට එක් දිනක් නෑර දිනපතා ඕනෑම සෞඛ්‍ය තත්ත්වයක්, ඕනෑම පරිසර  තත්ත්වයක් යටතේ අඛණ්ඩව මේ කාර්යයට ඔහුම පැමිණීමය. ඇතැම් දිනෙක මහ වරුසාවේ  මේ කාර්යයට අලුයම එන ඔහු යන්නේද තෙමෙමින්ය. ඒ අසතුටින් නොවේ. අප්‍රමාණ  ප්‍රීතියෙනි.
ඔහුට බොහෝ පිංකම් ඉටුකර ගැනීමට මග හසර හදා දෙන  රුවන්වැලි  චෛත්‍යාරාමාධිකාරී  පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ පාලිත  ගැන කිව්වේ  මෙවැන්නකි.
“ මගේ ජීවිතයේ දුටු විශේෂම ශ්‍රද්ධාවත්  තරුණයෙක්. ධර්මය දැන ප්‍රායෝගිකව ධර්මයේ හැසිරෙන භාග්‍යවත් දුර්ලභ  මනුෂ්‍යයෙක්. තමන් පිංකම් කර අනුන්වත් පිංකම්හි පොලඹවන කෙනෙක්, අති දක්ෂ  නිර්මාණකරුවෙක්. අතීතයේ මඝ මානවක බෝසතුන් වැනි අයෙක්. මට ඔහු ගැන ගැන  කල්පනා කරනකොට මැවෙන්නෙ මඝ මානවක බෝසතුන්”
මේ දක්ෂ කුසලතා පූර්ණ  උදාර මිනිසාට මේ පිංකම් සිදුකර ගැනීමේදි සිය ප්‍රිය බිරින්දෑ වන මල්ලිකා  සෙනෙවිරත්න ද දක්වන සහයෝගය සසර පුරුද්දක් වාගේය.
 විසිතුන් හැවිරිදි ඔහුගෙ  පුත්‍රයා විමුක්ති දර්ශන රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තුන්වන වසර  විද්‍යාර්ථියෙකි. ඔහුද හැකි සෑම මොහොතකම තාත්තාගෙ පිංකම් උදෙසා සහයෝගය  ලබාදේ. අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවේ 13 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන ඔහුගෙ  දියණිය අයෝමා හංසමාලා ඇතැම් දිනවල ඔහු සමග පාන්දර රුවන් වැලි සෑ මළුවේ  පවිත්‍රතා කටයුතු වෙනුවෙන් යන්නීය.
මේ දිනයන්හිද පාලිත තිලකරත්න විසින් රුවන්වැලි සෑ වැලි මළුවේ අභිනවයෙන් ඉදිවන දොළොස්මහේ පහනේ නිර්මාණ කටයුතු සිදුකරමින් සිටියි.
හැකියාව  දැහැමි මගටම යොමුකරමින් තමන්ද ධර්මයේ හැසිරෙමින් අනුන්ද ධර්මයයේ පිනෙහි  හසුරවන මේ ආදර්ශමත් මිනිසා හෙටත් ඔබ මහ සෑ මළුවට එන්ට ප්‍රථම අලුයම මහ සෑ  මළුවේ ඔබට වඳින්නට පුදන්නට සුදුසු පරිදි මල් ආසන සකසා පහන් පිරිසිදු කර  පිළිම දොවා පිරිසිදුකර ඔබේ පිංකමට ඔබට රහසේ උපකාර කර තිබෙනු ඇත.
 

More News..