brand logo

රුවන්වැල්ලේ වෛද්‍යවරයෙකුට කොවිඩ්

28 November 2020

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල අඟුරුවැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. බටහිර ක්‍රමයට වෛද්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබන මෙම වෛද්‍යවරයාගෙන් දිනකට රෝගීන් 100-150ත් අතර පිරිසක් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම වෛද්‍යවරයාගේ සහ වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳගේ ද පී.සී.ආර් පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිදුකර තිබෙන අතර ඊයේ(27) දිනයේදී ලද ප්‍රථිපල අනුව ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. තමන්ට පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබියදී පවා මෙම වෛද්‍යවරයා ඊයේ දිනයේදී ද රෝගීන්ට ප්‍රතිකාර සිදුකර ඇති අතර මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ප්‍රතිකාර කිරීමේදී මෙම වෛද්‍යවරයා මුහුණු ආවරණ පැළද සිට නොමැති අතර, පැමිණෙන රෝගීන්ට දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ජලය හෝ දෑත් පිරිසිදුකාරක දියර ලබාදී නොමැති අතර පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යෑම ද ඉතා අවම මට්ටමක තිබී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් චෝදනා කරයි. කොටියාකුඹුර, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලපිටමඩ ඇතුළු ප්‍රදේශවල සිට මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි යම් පුද්ගලයෙක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස රුවන්වැල්ල ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටියි.
 

More News..