brand logo

රුවන්මැලිි මහා සෑයට චූඩා මාණික්‍යය පැළඳවීමේ පිංකම අද

25 November 2019

ඓතිහාසික රුවන්මැලි මහාසෑයේ කොත් වහන්සේට පැළඳවීමට නිර්මාණය කරන ලද රන් පාදම සහිත චූඩාමාණික්‍ය පැලඳවීමේ පූණ්‍ය මහෝත්සවය අද (25 වැනිදා) සවස ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. කුරුණෑගල ඇත්කඳ පුරාණ රජමහා විහාරස්ථානයේදී මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා ප්‍රදර්ශනය කෙරුණු චූඩාමාණික්‍ය ඉකුත් 22 වැනිදා පස්වරුවේ ස්වර්ණමාලි සෑ පුදබිමට රිය පෙරහරකින් වැඩම කරනු ලැබීය. මෙම රන් පාදම සහිත චූඩාමාණික්‍ය සියැසින් දැක බලා වන්දනාමාන කිරීමට ස්වර්ණමාලි සෑ පුදුබිම වෙත දහස් සංඛ්‍යාත සැඳැහැවත්හු පිරිසක් පැමිණෙමින් සිටිති. අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස සහ ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන යන නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා මත විශ්වපාරමි පදනම විසින් මෙම රන් පාදම සහිත චූඩාමාණික්‍ය පූජා කරනු ලැබ ඇත. මෙම චූඩාමාණික්‍ය රැගත් රිය පෙරහර තඹුත්තේගම කලාවැව පාලම අසලදී ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් පිළිගනු ලැබූහ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක විසින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී අවසන් වශයෙන් මෙම රථ පෙරහර පිළිගැනීමෙන් අනතුරුව ස්වර්ණමාලි සෑ පුදබිමේ ඉදිකෙරුණු විශේෂ මණ්ඩපයක චූඩාමාණික්‍ය තැන්පත් කෙරිණි. එම චූඩාමාණික්‍ය අද (25 වැනිදා) මධ්‍යහ්න කාලය දක්වා සැදැහැවතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා තිබෙන බව පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසූහ. ඉන් අනතුරුව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අද (25 වැනිදා) සවස මහ සෑරදුන්ට පැලඳවේ. මහා සෑයේ කොත් වහන්සේට පලඳවනු ලැබූ රන්පාදම සහිත චූඩාමාණික්‍ය හෙට (26 වැනිදා) පෙරවරුවේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා නිරාවරණය කිරීමට කටයුතු සංවිධානය කොට ඇත. මේ අතර චූඩාමාණික්‍ය නිරාවරණය කිරී‍මෙන් පසු ස්වර්ණමාලී සෑ පුදබිමේ 1500ක් පමණ වූ මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් ද පැවැත්වේ. පර්සි කුරුනේරු - අනුරාධපුර
 

More News..