brand logo

රුධිර කාණ්ඩය AB හෝ B නම් කොරෝනා ආසාදනය වීමේ වැඩි ඉඩක්

12 May 2021

AB සහ B යන කාණ්ඩවලට අයත් රුධිරය සහිත පුද්ගලයන්ට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බවක් ඉන්දියානු පර්යේෂණ ආයතනයක් විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ විද්‍යාත්මක සහ කර්මාන්තමය පර්යේෂණ කවුන්සිලය නැමැති ඉන්දියානු ආයතනයයි. මේ අතර ‘O' කාණ්ඩයට අයත් රුධිරය සහිත පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වීමට ඇති ඉඩ සාපේක්‍ෂ වශයෙන් අඩු බවද මෙහි දී හෙළි වී ඇත. ඔවුන්ට වයිරසය ආසාදනය වුවත් බොහෝ විට රෝග ලක්‍ෂණ පහළ නොවන බවක්ද සොයාගෙන තිබේ. ‘O' කාණ්ඩයේ රුධිරය සහිත පුද්ගලයන් තුළ කොරෝනා වයිරසයට එරෙහිව වැඩි ප්‍රතිශක්තියක් තිබීම මෙම තත්ත්වයට හේතු විය හැකි බව විශේෂඥයන්ගේ අදහසයි. ඉහත කී ආයතනය මෙම පර්යේෂණ වාර්තාව නිකුත් කර ඇත්තේ රට පුරා පුද්ගලයන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගනිමින් කරන ලද අධ්‍යයනයකින් පසුවය. මෙම අධ්‍යයනයෙහි දී පෙනී ගොස් ඇති තවත් කාරණයක් වන්නේ මස් වැඩිපුර අනුභව කරන පුද්ගලයන්ටද වයිරසයෙන් වැඩි බලපෑමක් ඇති බවයි. එළවළු වැඩියෙන් ආහාරයට ගන්නා අයට වයිරසය ආසාදනය වී ඇත්තේ අඩු වශයෙනි. මෙයට හේතුව එළවළුවල ඇති තන්තුමය කොටස් නිසා ආරක්‍ෂාවක් ඇති වීම විය හැකි බවට සැක කෙරේ. ආසාදනයකින් පසු ඇති වන සංකූලතා මර්දනය කිරීමටද මෙම තන්තුමය ආහාරවලට හැකි බව පිළිගැනේ. කෙසේ වෙතත් මෙම පර්යේෂණයෙන් හෙළි වූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කළ යුතුව ඇති බව ද, ‘O' රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන්ට සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත් නොසලකා කටයුතු කිරීමට හැකි බවක් මෙයින් නොකියැවෙන බවද පර්යේෂකයන් අවධාරණය කර තිබිණි. සහන් වික්‍රමගේ
 

More News..