brand logo

රිෂාඩ් සහ ප්‍රේමලාල් හෙට දිනයේ පාර්ලිමේන්තුවට

07 June 2021

හෙට (08) දිනයේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් මහතා සහ ප්‍රේමලාල් ජයසේකර මහතා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ. පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත දැනුම්දී ඇත. ඒ අනුව කටයුතු කරමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලිපියක් මගින් දන්වා ඇත. මීට අමතරව බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාව ද පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට කථානායකවරයාගේ නියෝගය ඇතුළත් ලිපිය ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබේ. මේ අනුව පවත්නා කොවිඩ් අවදානම හමුවේ මන්ත්‍රීවරුන් දෙපළම පාර්ලිමේන්තුවට කැඳවා ගෙන ආ යුත්තේ දැනට රජය විසින් පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පමණක් බවද වැඩි දුරටත් දැනුම් දී ඇත.
 

More News..