brand logo

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් ඇප මත මුදාහැරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

06 February 2020

තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා මෙම අවස්ථාවේ ඇපමත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (06) නියෝග කළාය. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදු වන හෙයින් මෙම අවස්ථාවේ සැකකරුට ඇප නියම කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව තීන්දු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 20 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළාය. මෙම පැමිණිල්ල අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. එම අපරාධ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන හෙයින් මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව රහස් පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය. මෙම අපරාධය හේතුවෙන් අගතියට පත් පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බව සඳහන් කර සිටියේය. අගතියට පත් පාර්ශවයේ නීතිඥ චන්ද්‍රසේන මහතා- ස්වාමීනි, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපි විරුද්ද වෙනවා. මෙම අපරාධය පිළිබඳව 2018 වසරේ සිට අපි අධිකරණයට කරුණු වාර්තා කළා. සැකකරුවන් පවා විමර්ශනවලින් හඳුනාගෙන තිබුණා. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය ක්‍රියා කළේ නැහැ. මහේස්ත්‍රාත්වරිය - සැකකරුවන් පිළිබඳව කරුණු අනාවරණය වී තිබුණා නම් ඒ ගැන රහස් පොලිසියට සොයා බලන්න තිබුණා. අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ චන්ද්‍රසේන මහතා - ස්වාමීනී, එවැන්නක් සිද්ධ වුණේ නැහැ. මෙම නඩුවට පාදක වන සිද්ධියට අදාළ විමර්ශන විධිමත්ව ආරම්භ වුණේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුවයි. ඊට පෙර විධිමත් ආකාරයට විමර්ශන සිදු වුණේ නැහැ.රහස් පොලිසියට එල්ල වුණු දේශපාලන බලපෑම නිසයි සිද්දවුනේ. එහෙත් දැන් විමර්ශන විධිමත්ව සිදු වෙනවා. මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මගේ සේවාදායකයාට කිසියම් පුද්ගලයකු දුරකථන මාර්ගයෙන් තර්ජනය කර තිබෙනවා. මේ පිළිබඳව අපි රහස් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරිය - (රහස් පොලිසිය අමතමින්) මෙවැනි පැමිණිල්ලක් ලැබී තිබෙනවාද? රහස් පොලිසිය - පැමිණිල්ලක් ලැබී තිබෙනවා ස්වාමීනි, ඊට අදාළව දුරකථන ඇමතුම් විස්තර වාර්තා අර ගෙන අපි පරීක්ෂණයක් සිදු කරනවා. විත්තියේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා -ස්වාමීනි . මගේ සේවාදායකයා කිසිදු අවස්ථාවක දුරකථන මාර්ගයෙන් මෙවැනි තර්ජනය කිරීමක් සිදුකර නැහැ. අගතියට පත් පාර්ශවය නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා -ස්වාමීනි කිසිම පුද්ගලයෙක් තමන්ගේ පෞද්ගලික දුරකථන අංකයෙන් මෙවැනි තර්ජනයක් කරන්නේ නැහැ. නමුත් මාගේ සේවාදායකයාට තර්ජනයක් එල්ල වී තිබෙනවා. මෙම නඩුවට පාදක වී තිබෙන අපරාධය රජයට එරෙහිව සිදු කෙරුණු අපරාධයක්. එම නිසා පොලීසිය විමර්ශන සිදුකළ යුතුයි. තීරණාත්මක අයුරින් මෙම විමර්ශනය සිදුවන අවස්ථාවක මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට මෙන්ම සාක්ෂිකරුවන්ට ද දැඩි බලපෑමක් එල්ල වන්න පුළුවන්. එමනිසා මෙම සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් අපි තරයේ විරුද්ධ වෙනවා. විත්තියේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා -ස්වාමීනි මාගේ සේවාදායකයා මේ වන විට දින ගණනාවක් රිමාන්ඩ් භාරයේ පසුවී තිබෙනවා. ඔහු මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ. ඒ වාගේම ඇප පනත යටතේ ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමටත් සාධාරණ කරුණු කිසිවක් ඉදිරිපත් වී නැහැ. ඒ අනුව ඔහු ඕනෑම කොන්දේසියක් සහිතව ඇප මත මුදා හරින මෙන් මා ඉල්ලා සිටිනවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම අපරාධයට අදාළව පොලීසිය විසින් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව ඉදිරිපත්වී ඇති කරුණුවලින් පෙනී යන්නේ යැයි සඳහන් කළාය. මෙවැනි අවස්ථාවක සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් ඉදිරියේ විමර්ශන කටයුතු වලට මෙන්ම සාක්ෂිකරුවන්ට ද කිසියම් බලපෑමක් එල්ල වීමට ඉඩකඩ පවතින බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරිය ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළාය. ඒ අනුව සැකකාර රිෆ්කාන් බදියුදීන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කරන ලදී. (අධිකරණ වාර්තාකරු)
 

More News..