brand logo

රිෂාඩ්ගේ සොයුරු නිදහස් කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන්න - කොළඹ අගරදගුරු හිමි

05 October 2020

  පාස්කු ඉරු දින ප්‍රහාරය කළ ත්‍රස්ත කණ්ඩායම සමග සමීපව ඇසුරු කළ බවට චෝදනා නගමින් අත්අඩංගුවට පත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මාස පහකට පසු අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කිරීම සමබන්ධයෙන් පරික්ෂණයක් කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසීය. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ කී කාදිනල් හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින්. ‘‘පාස්කු ඉරු දින ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳව සිදු කරන පරික්ෂණවලින් අනාවරණය වූ කරුණු මත දැඩි චෝදනා ලැබ සැකකරුවන් ලෙස අත් අඩංගුවේ සිටි පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටි හැටියේ නිදහස් කර හැරීමේ ප්‍රවණතාවක් අපි දැක්කා. මේ පිළිබඳව අපේ බලවත් අප්‍රසාදය සහ විමතිය පළ කරනවා. මෑතකදී හදිසියේම නිදහස් කර යැවූ පුද්ගලයන් පිළිබඳව මුලින් කී දේ සහ දැන් කියන දේ අතර පරස්පරතාවක් තියෙනවා. අත්අඩංගුවේ සිටි මේ එක් අයෙක් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කලින් කී දේ අප පටිගත කර තිබෙනවා. ඒ ප්‍රකාශය විවිධ මාධ්‍ය ජාලවල ප්‍රවෘත්තිවලටත් විකාශනය වුණා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙළ තුළ යම් පරස්පරතාවක් දැන් අපට පැහැදිලි වෙනවා. ඒ නිසා මගේ ජනතාව වෙනුවෙන් ඉතා ගැඹුරු සැකයක් මතුවී තිබෙන බව මා ප්‍රකාශ කළ යුතුමයි. සැකකරුවන් හදිසියේ මුදා හැරීම සහ දැනට සිදුවෙමින් තිබෙන ඇතැම් දේ පිළිබඳව අවධානය යොමු කරද්දී මේ දේවල් මෙසේ සිදුවූවොත් වේදනාවට පත්ව සිටින ජනතාව අපේක්ෂා කරන පරික්ෂණ අපක්ෂපාතීව සිදුවේද නැත්නම් දියාරුවී යයිද කියා අපට සාධාරණ බියක් ඇතිවෙනවා. මේ තුළ යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියා සැකයකුත් මගේ සිත තුළ ඇතිවී තිබෙනවා. එනිසා සිදුවෙමින් පවතින මේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් මගේ ජනතාව දුරකතන, කෙටි පණිවුඩ ඔස්සේ මගෙන් ප්‍රශ්න කරනවා. මට මේ පිළිබඳව අත සෝදාගෙන පැත්තකට වෙන්න බැහැ. එනිසා මේ සම්බන්ධව කතෝලික මන්ත්‍රීවරු සහ ඇමැතිවරු පමණක් නොවේ රටේ සාධාරණය හා යුක්තිය වෙනුවෙන් හඬ නගන හැම කෙනෙක්ම කටයුතු කළ යුතුයි. ත්‍රස්තවාදී කණ්ඩායම සමග ගනුදෙනු කරමින් ඔවුන් සමග ව්‍යාපාර කළැයි කියමින් මාස පහකට පෙර අත්අඩංගුවට ගත් කෙනෙක් කිසිම වරදක් නොකළ බව කියමින් නිදහස් කිරීම ගැන අප සිත් තුළ විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. එනිසා මේ පිළිබඳ මගේ විරෝධය, කනස්සල්ල සහ විමතිය පළ කරනවා. මේ සිද්ධ වූ දේ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මා ඉල්ලා සිටිනවා යැයිද පැවැසීය. අජිත් අලහකෝන්
 

More News..