brand logo

රිෂාඩ්ගේ විශ්වාසභංගය උතුරට බලපාන හැටි

26 May 2019

අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය හේතුකොටගෙන දෙමළ ජාතික සන්ධානය උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටියි. මේ සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරා විවිධ අදහස් හා මත කරළියට පැමිණ තිබූ අතර දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මෙම ගැටලුවේදී ප්‍රබල පීඩනයකට ලක්ව සිටින බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් කියැවිණි. අප්‍රේල් 21 වැනිදා එල්ල වූ අන්තවාදී මුස්ලිම් ප්‍රහාරයෙන් මියගිය පිරිසෙන් බහුතරය කතෝලිකයෝ වූහ. තම දූ දරුවන්, අඹු සැමියන් මෙන්ම ඥාති හිතමිත්‍රාදීන් එක පොදියට මරා දැමූ මෙම අන්තවාදීන්ට කිසිදු ආකාරයක සමාවක් නොදිය යුතු බව මෙම ජනතාවගේ මතය වී තිබේ. එමෙන්ම මඩකලපුව සි​ෙයාන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූ සියලු දෙනා දෙමළ කතෝලිකයන් වූ අතර ඔවුන්ගේ ඥාතීන් පසුගිය දිනවල දැඩිව අවධාරණය කර තිබුණේ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතු බවය. මෙවැනි පසුබිමක මෙම ත්‍රස්ත ජාලය සමග ඍජු සබඳතා ඇතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ශ්ව ගණනාවක චෝදනා එල්ල වී තිබේ. අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වන්නේ ඒ අනුවය. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ යුතු බව දෙමළ සංවිධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් තිදෙනාගෙන් එක් අයකු වන ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්‍රකාශ කර තිබේ. සිද්ධාර්ථන් මෙම ප්‍රකාශය සිදු කිරීමත් සමග ටෙලෝ සංවිධානයද රිෂාඩ් බදියුදීන්ට එරෙහි විය යුතුය යන මතයට එළඹ ඇති බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් කියැවිණ. ඊට හේතුව ටෙලෝ සංවිධානයද කතෝලික ජනතාව සමග මෙන්ම කතෝලික රදගුරු හිමිවරුන් සමග ඉතා සමීප සබඳතා පවත්වාගෙන යෑම නිසාය. මේ අතර නැගෙනහිර පළාත නියෝජනය කරන දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත්තේ ද අන්තවාදයට හා මුස්ලිම් ත්‍රස්තවාදයට එල්ල කරන ප්‍රහාරයක් ලෙස රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ යුතු බවය. කෙසේ වුවද දෙමළ සන්ධානයේ ප්‍රධාන තීරකයන් තුන්දෙනා වන ආර්. සම්බන්ධන්, මාවයි සේනාධිරාජා හා එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් තවමත් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත. එහෙත් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා මෙන්ම ටෙලෝ නායක සෙල්වම් අඩෛකලනාදන් මන්ත්‍රීවරයා සමග ආර්. සම්බන්ධන් මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතත් එම සාකච්ඡාව අවසන්ව ඇත්තේ එකඟතාවකින් තොරවය. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයත් ඔහුට එල්ල වී ඇති චෝදනා හේතුවෙනුත් අනිවාර්යයෙන්ම මෙම විශ්වාසභංගයේදී ඔහුට එරෙහිව ඡන්දය භාවිත කළ යුතු බව ධර්මලිංගම් සිද්ධාර්ථන් මෙම සාකච්ඡාවේදී දැඩිව අවධාරණය කර ඇත. මෙම අවස්ථාවේ උතුරු නැගෙනහිර ජනතාවගේ ආරක්ෂාවද තර්ජනයට ලක්ව ඇත්තේ මුස්ලිම් අන්තවාදය හේතුවෙන් බවත්, එවැනි තත්ත්වයක් මත රිෂාඩ් බදියුදීන් ආරක්ෂාකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් වුවහොත් ඉදිරි මැතිවරණවලදී දෙමළ ජනතාව තමන් ප්‍රතික්ෂේප කිරීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි සිද්ධාර්ථන් දෙමළ සන්ධාන නායකයාට පැහැදිලි කර දී තිබේ. මේ අතර මන්නාරමෙන් සහ වව්නියාවෙන් රිෂාඩ් බදියුදීන්ට එල්ලවන විරෝධතාව තුළ දේශපාලන ගැටුමක්ද පවතියි. රිෂාඩ් බද්යුදීන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයෙනි. දෙමළ සන්ධානයේ චාර්ල්ස් නිර්මලනාදන්, මන්නාරමෙන්ද, සෙල්වම් අඩෛකලනාදන් හා ශිවශක්ති ආනන්දන් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මස්තාන් කාදර් මහතාද වව්නියාව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූවෝ වෙති. මෙම පිරිසට දේශපාලන කටයුතු කරගෙන යාමට ප්‍රබල බලපෑමක් හා අභියෝගයක් එල්ල කරන්නා මෙන්ම විවිධ බාධා පමුණුවන්නාද වන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ය. ඔහු තම දේශපාලන බලය උපරිම අයුරින් යොදා ගනිමින් තම ආධිපත්‍යයට වව්නියාව හා මන්නාරම නතුකරගෙන සිටියි. එහෙයින් රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන බලය බිඳ දැමීමටද මෙය අවස්ථාවක් කර ගැනීමට මෙම මන්ත්‍රීවරුන් උත්සාහ කරන බවක්ද පෙනී යන්නේය. කෙසේ වුවද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සමීප හිතවතුන් කීප දෙනකු මේ දිනවල ප්‍රදේශයේ ආගමික නායකයන් මුණගැසී පවත්නා තත්ත්වය වෙනස්කර ගැනීම සඳහා එම නායකයන්ගේ උදව් උපකාර ලබා ගැනීමේ වෑයමකද නිරතව සිටී. ඔවුහු මෙම ආගමික නායකයන් හරහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඡන්දය භාවිත කිරීම වළක්වා ගැනීමට උපරිම උත්සාහයක් දරමින් සිටිති. යම් ආකාරයකින් දෙමළ සන්ධානයේ වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් රිෂාඩ් මන්ත්‍රීවරයාට එරෙහිව ඡන්දය භාවිත කළහොත් දෙමළ සන්ධානය මෙතෙක් රජය ආරක්ෂා කිරීමට ගෙනගිය වැඩපිළිවෙළ කඩාකප්පල් වන අතර රජය හා දෙමළ සන්ධානය අතර හොඳ හිතද බිඳී යනු ඇත. මෙම තත්ත්වය හමුවේ දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ හා සියලු මන්ත්‍රීවරුන්ගේ හමු දෙකක් වෙන වෙනම ඉදිරි දිනවලදී පැවැත්වීමට එම සන්ධාන නායකත්වය තීරණය කර තිබේ. එම හමු දෙකෙන් පසුව මෙම විශ්වාසභංගයට සහාය ලබා දෙනවාද, නැද්ද යන තීරණාත්මක නිගමනයට එළඹෙනු ඇත. එම තීරණය කුමක් වුවද, එය දෙමළ ජාතික සන්ධානය අතර ප්‍රබල ගැටුමක් නිර්මාණය වන්නට මග පැදෙන බව පැහැදිලි කරුණකි. මේ අතර දෙමළ ජාතික සන්ධානය තවත් විශේෂ කරුණක් කෙරෙහිද මේ වන විට අවධානය යොමුකර තිබේ. ඒ මෙම ගැටලු හමුවේ කතෝලික රදගුරු හිමිවරුන්ගේ සිත් දිනාගෙන ඒහරහා කතෝලික ජනතාවගේ විශ්වාසය තවදුරටත් තමන් කෙරෙහි රඳවා ගැනීමයි. යාපනය, මන්නාරම හා මඩකලපුව යන රදගුරු හිමිවරුන්ට එම ප්‍රදේශවල ජනතාව තුළ ඇත්තේ ඉමහත් ප්‍රසාදයකි. කතෝලික ජනතාව උන්වහන්සේලාගේ අනුශාසනා, උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්නෝ වෙති. එහෙයින් මෙම තත්ත්වය හමුවේ දෙමළ ජාතික සන්ධානය රිෂාඩ් බදියුදීන් මහතා ආරක්ෂා කිරීමට ක්‍රියා කළහොත් ඒ හරහා යම් ආකාරයකින් එම හිමිවරුන් ප්‍රමුඛ කතෝලික පූජක පක්ෂය දෙමළ සන්ධානය කෙරෙහි කලකිරීමක් ඇතිවනු ඇතැයි යන බිය දෙමළ සන්ධානයට පවතියි. එසේ වුවහොත් නැගෙනහිර මෙන්ම උතුරේ කතෝලික ජනතාවගේ ඡන්ද පදනම දෙමළ සන්ධානයෙන් බිඳී යන අතර එවන් තත්ත්වයක් ඇති වුවහොත් එය එම සන්ධානයට පිරිමසා ගත නොහැකි පාඩුවක් වන බව පැහැදිලි කරුණකි. දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා නියෝජනය කරන්නේද නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයය. එහි ධීවර කර්මාන්තයේ නිරත වන පිරිසෙන් 85% ක්ම දෙමළ කතෝලිකයෝ වෙති. ඔවුන්ද දෙමළ සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් මෙන්ම සම්බන්ධන් මහතා වෙනුවෙන්ද වසර ගණනාවක් තිස්සේ කැපවී කටයුතු කළ පිරිසකි. මේ හේතුවෙන් සම්බන්ධන් මහතාටද මෙම ගැටලුවෙන් ලෙහෙසියෙන් බේරී යාමට නොහැකි වී තිබීම තුළ ගැටලුව තවත් සංකීර්ණ වී ඇත. මෙම තත්ත්වයන් හමුවේ දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂවලට මෙන්ම දෙමළ සන්ධාන නායකත්වයටද ගැටලු එකක් නොව රැසක්ම විසඳා ගැනීමට සිදුව තිබේ. එහෙත් එම ගැටලු විසඳා ගැනීම සිතන තරම් ලෙහෙසි පහසු නොවන්නේ මෙය පක්ෂයේ පැවැත්මට ඍජුව බලපාන හා පක්ෂයේ ඡන්ද පදනමට යම් බලපෑමක් එල්ල වන තත්ත්වයක් මත පිළියම් සෙවීමට ඇති ගැටලු බැවිනි. ලසුනික ජයසුන්දර
 

More News..