brand logo

රිෂාඩ්ගේ ඉල්ලීමෙන් නාවික කඳවුර ඉවතට

08 June 2019

වසර නවයක් පමණ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති නාවික හමුදා අනුකණ්ඩ කඳවුරක් හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමකට අනුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වාර්තා වේ. 2010 වසරේදී විල්පත්තුව රක්ෂිතයේ ආරක්ෂාවට මන්නාරම ‘‘භරණ’’ නාවික විධාන මූලස්ථානයට අනුයුක්තව වියාඩුකුලම් නාවික අනුකණ්ඩය ස්ථාපිත කළේය. මීට මාස පහකට පෙර සිලාවතුරේ පැවැති රැස්වීමකදී ඇමැතිවරයා පවසා ඇත්තේ එම කඳවුර ඉවත් කර එහි ඇති ඉඩම් සිවිල් ජනතාවට ලබා දෙන ලෙසටය. අදාළ කඳවුර ස්ථාපිත කර ඇත්තේ සිවිල් වැසියන් පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් පහක් පමණ දුරින් වන අතර නාවික සෙබළුන් එම ප්‍රදේශයේ වගුරුබිම් කුඹුරු බවට පත්කර දේශීය වී වගා කරන බව වාර්තා වේ. එසේ අස්වැද්දූ කුඹුරු අක්කර 25ක් පමණ ඇති අතර එම වගා බිම්ද සිවිල්වැසියන්ට ලබාදෙන ලෙසට බදියුදීන් මහතා පවසා ඇත. අදාළ වගා බිම් යල මහ දෙකන්නයම විලයාඩුවැව යටතේ වගා කරයි. මේ සම්සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාරගෙන් කරන ලද විමසුමකදී ඔහු පැවසුවේ අදාළ නාවික අනුකණ්ඩය ස්ථාපිත කළේ විල්පත්තුවේ ආරක්ෂාවට නොව දේශීය සහල් වගාකිරීමේ ව්‍යාපෘතියක් සඳහා බවයි. ඒ අනුව එහි අක්කර එක හමාරක පමණ ප්‍රමාණයක දේශීය වී වගා කරන අතර එහි සෙබළුන් 25කට වඩා වැඩියෙන් ඒ සඳහා යොදවා ඇති නිසා එය ඉවත් කරන බව සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය. එම භූමිය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බැවින් අදාළ අංශයට භූමිය භාර දෙන බවත් කඳවුර ඉවත් කරනු ලබන්නේ කිසිවකුගේ ඉල්ලීමකට නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් 3 වැනි පිටුවේ පළ වේ.
 

More News..