brand logo

රිය අනතුරු තුනකින් තිදෙනෙක් මරුට - දෙදෙනෙකුට තුවාල

12 November 2018

ප්‍රදේශ තුනකදී සිදුවූ මාරක රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීස් මූලස්ථානය පැවසුවේ කොඩිකාමම්, ලුණුගම්වෙහෙර සහ වැලිපැන්න යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවයි. කොඩිකාමම් එලදුමට්ටුවාල් යුධ හමුදා කදවුර අසලදී වෑන් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ දකුණු පසින් ගමන්කල පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුවුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 30ක් වූ කොඩිකාම්ම ප්‍රදේශයේ කාන්තාවක්. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ලුණුගම්වෙහෙර මත්තල ගුවන්තොටුපල මාර්ගයේ ගුවන් පාලම ආසන්නයේ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ මී ගවයෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකරු හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 28ක් වූ කතරගම යාල ගෝතමීගම යුධ හමුදා කදවුරේ රාජකාරි කළ යුධ හමුදා සෙබලෙකු වනවා. මේ අතර වැලිපැන්න අවිත්තාව පාර, ඉත්තපාන හංදිය අසලදී වෑණ් රථයක් හා යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති බවය පොලීසිය පවසනවා. අනතුරින් වයස අවුරුදු 22ක් වූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේ ප්‍රදේශවාසීන් කෝපයට පත්ව එම වෑන් රථයට ගිනිතබා ඇති බවයි පොලීසිය පවසන්නේ. ගින්නෙන් වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
 

More News..