brand logo

රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව පෞද්ගලික රෝහල්වලත්

30 November 2020

කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය (රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ) පෞද්ගලික රෝහල්වලද කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අනුමත පෞද්ගලික රෝහල් දහයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කිරීමට මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ‘අරුණ’ට පැවැසුවේය. එම රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කර කොවිඩ් වැලඳී ඇත්දැයි නිගමනය කළ හැකි පරිදි මාර්ගෝපදේශ සකස් කිරීමට නියමිතය. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලද මෙම පරීක්ෂණය කිරීමට අවසර හිමි වෙයි. එවැනි ප්‍රදේශයක වසංගත රෝග වෛද්‍යවරුන්ගේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කළ හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් 42ක ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කරයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතික්‍රියක කට්ටල ලක්ෂයක් ලබා දී ඇත. දැනට පරීක්ෂණ සඳහා ඉන් කට්ටල පනස්දහසක් (50000) භාවිත කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරියේ දී ද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රියක කට්ටල ලක්ෂ හතරක් ලබාදීමට නියමිත බවද ඔහු අනාවරණය කළේය. මෙම පරීක්ෂණයක් කිරීම සඳහා රුපියල් 1200ක මුදලක් වැය වෙයි. උදයජීව ඒකනායක
 

More News..