brand logo

රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණ

22 October 2018

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණයක් පැවැත්විමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් අද(22) දිනයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යැවීමට නියමිත බව වාර්තා වෙයි. බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් යෙදවීමට විරෝධය පළ කරමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ(21) පෙරවරුවේ සිට විරෝධතාවයක නිරත වී සිටියි. නිරික්ෂණ කුළුණ මතට නැග 40 දෙනෙකුගෙන් පමණ සමන්විත රැඳවියන් පිරිසක් පළමුවෙන්  විරෝධතාවය ආරම්භ කළ අතර පසුව තවත් පිරිසක් එම විරෝධතාවයට එක්ව තිබුණි. ඊයේ රාත්‍රියේ ද ඔවුන් කුළුණ මතට වී විරෝධතාවයේ නිරත වී සිටි බව වාර්තා වෙයි. බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරින් ඉන් ඉවත් කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියි. කෙසේවෙතත් මෙම රැඳවියන්ට සිරමැදිරි තුළින් පිටතට පැමිණිමට හැකි වූයේ කෙසේ ද යන්න ගැටලු සහගත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේය. ඒ සඳහා බන්ධනාගාර නිලධාරින්ගේ සහය හිමිවී ඇද්ද යන්න පිළිබඳව සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගනිමින් සොයා බැලීමට බලාපොරොත්තු වන බව එම ප්‍රකාශිකාව සඳහන් කළේය. පසුගිය බදාදා දිනයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා  පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමට පියවර ගත් අතර එහිදී බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සහ බන්ධනාගාරයට පිටතින් පැමිණෙන පුද්ගලයින් පරික්ෂා කිරීම ඔවුන් විසින් සිදු කරනු ලබයි. එම පරික්ෂා කිරිම්වලදී මේ වන විට බන්ධනාගාරය වෙත රැගෙනයාමට උත්සහ කළ සිම් කාඩ්පත් 06ක් සොයා ගැනීමට හැකිවී ඇති බව වාර්තා වෙයි.
 

More News..