brand logo

රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනට සුදුසුම පවුල් ඒකක තෝරාගත යුතුයි - පා.ම. සිරිපාල ගම්ලත්

09 February 2020

ග්‍රාමීය අඩු අදායම් ලාභී පවුල් නගා සිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කර ඇති, රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන, සඳහා සුදුසුම පවුල් ඒකක තෝරාගත යුතු බවත් එසේ නොවන්නේ නම්, එය ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ගමන් මගට සිදුකරන බාධාවක් බවට, ආර්ථි කථානය විය හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතා අවධාරණය කරයි. දේශපාලන න්‍යායා පත්‍රය නොව , වඩා වැදගත් වන්නේ අඩු ආදායම් ලාභී සුදුසු පවුල් ඒකක හඳුනා ගැනීම බව පෙන්වා දෙන සිරිපාල ගම්ලත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එවැනි අක්‍රමිකතා පවතින්නේ නම් වහාම තමා දැනුවත් කරන ලෙස ද ,ඒ මහතා පොළොන්නරුව දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලාසිටියි. එමෙන්ම පෝෂණ මල්ල බෙදා දෙන්නේ ද,මහා භාණ්ඩාගාරය සතු මහජන බදු මුදලින් බවත් එය දේශපාලනඥයින් ගේ, පෞද්ගලික මුදලින් සිදුකෙරෙන ප්‍රදානයක් නොවන බවත් පෙන්වා දෙයි. හෙතෙම මේ බව කියා සිටියේ, අද (09) දින දියසෙන්පුර මහා විද්‍යාලයේ පැවති සමෘද්ධි බැංකු සාමාජිකයන් ගේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ සිරිපාල ගම්ලත් මහතා " ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට භාර ගන්නා විට, ආර්ථිකය තිබුණේ අතිශය බැරෑරුම් තත්ත්වයක. යහපාලනය තුල ආර්ථිකය ශක්තිමත් වනවා වෙනුවට සිද්ධ වුනේ, ආර්ථිකයේ "මළගම" නිර්මාණය වීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා ආදර්ශවත් ලෙස, ජනතාව අභියසට ගොස්, රට ගොඩනගන තම ස්ථාවරය ජනතාව ට පැහැදිලි කළා. ඒ නිසා ඔහු පිළිබඳව ජනතාව තුළ , ගැඹුරු විශ්වාසයක් ඇතිවී තිබෙනවා. එය කිසිවිටෙකත් පළුදු නොකිරීමට වග බලා ගැනීම අප හැමෝගෙම වගකීමක්. ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව අපේ රටේ ජනගහනයෙන් 6.7%, දුගී බවෙන් පෙළෙනව. රටට නිදහස හිමිවෙලා වසර 72ක් ගතවෙලත්, අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්, අපට තවමත් ස්වාධීනව ආර්ථික සංවර්ධනය කරා ළඟා වීමට නොහැකි වීමට හේතුව අවබෝධ කර ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුවේ නිර්දේශ වලට කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ අපට කියා ස්වං ආර්ථික වැඩපිළිවෙළක් නොමැති නිසයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 72 ජාතික නිදහස් දිනයෙනුත් රටට ප්‍රකාශ කළේ රට බෙදන අන්තවාදය ට ඉඩක් නොමැති බවයි. එය ඉතාම වැදගත්, හදවතට දැනෙන ප්‍රකාශයක්. රටක මූලික වශයෙන් ආරක්ෂාව තහවුරු උනොත් පමණයි ඒ රටේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය වාතාවරණය ගොඩ නැගෙන්නෙ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව තවමත් රට තුලට විදේශ සංචාරකයින් පැමිණීම පහළ අගයක පවතින්නේ. මේ හේතුවෙන් රටට ඩොලර් පැමිණීමේ අඩුවක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර ගැනීමෙන් පසුව, කොටස් වෙළඳ පොළ, ඉහළම අගය සනිටුහන් කළා. මේ තුලින් පෙනී යන්නේ, විදේශ ආයෝජකයන්, රට තුලට කැඳවා ගැනීමට ශක්තිමත් ආණ්ඩුවක් වගේ ම රටේ ආරක්ෂාව ත්, වැදගත් බවයි. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වැදගත් සන්ධිස්ථානයක් වගේ ම කඩයිමක්, අපි විශ්වාස කරන්නෙ, ජනාධිපතිවරයා ගේ ගමන් මගට ශක්තියක් විය හැක්කේ, පාර්ලිමේන්තුවේ, තුනෙන් දෙකක බහුතර බලයක් ගොඩ නගා ගැනීම තුළින් බව අපි අවබෝධ කරගත යුතුයි. එය සුළුවෙන් අර්ථකථන කිරීමට හැකියාවක් නැහැ. මේ මොහොතේ අපි පාට පක්ෂ බෙදා ගෙන එකිනෙකාට අභියෝග කිරීමට වඩා වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගේ රට හදන වැඩපිළිවෙළට ශක්තියක් වීමයි." යැයිද සිරිපාල ගම්ලත් මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. මෙම අවස්ථාවට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
 

More News..