brand logo

රාවණ නිසා වෙන වැඩ වලට යන්න බෑ

14 March 2021

ඔහුගේ රංගන ප්‍රවේශයම සුබදායකය. දෙතුන් දෙනෙකුට ගසා වීරයෙක් වීම රිදී තිරයේදී සාමාන්‍ය දෙයකි. බොහෝ විට ඒ වීරත්වය පෙන්වන්නට යන්නේ තම ප්‍රේමවන්තිය වෙනුවෙන් වීමද අති සාමාන්‍යයය. එහෙත් ඔහුට වීරයෙක් වන්නට සිදු වූයේ පුංචි තිරයේය. එයත් කුලුඳුලේය. ඔහුට වීරත්වය පෙන්වන්නට සිදු වූයේ තුන් හෙළයා ‍වෙනුවෙන්ය. යක්ඛ, නාග, දේව ගෝත්‍රයන් වෙනුවෙන්ය. සූර්යය වංශයේ, රාක්ෂ ගෝත්‍රයේ රාවණ ගැන තුන් හෙළයම අවධානයෙන් සිටින මොහොතක පුංචි තිරයෙන් රාවණ කරළියට ආවේය. ඒ තුෂාර තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයෙනි. නව පරපුරේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් බොහෝ දෙනෙක් රංගනයේ මුල් අකුර කියවූ රාවණ ටෙලි නාට්‍ය මාලාවේ රාවණ වූයේ ද නවක රංගන ශිල්පියෙකි. කඩවසම් පෙනුමෙන්, පෞරුෂත්වයෙන්, තාරුණයෙන් පිරිපුන් ඔහු රංග‍නයේ අභිෂේක ලැබුවේ ද රාවණ ලෙසය. අධ්‍යක්ෂ තුෂාරට රාවණව සොයා දුන්නේ දෙරණේ උප සභාපතිවරය‍ාය. ඔහුගේ තේරීම නිවැරදි බව හැ‍ඟෙන්නේ වැඩිහිටියන් අතර පමණක් නොව කුඩා දරුවන් අතර ද රාවණ චරිතය ජනප්‍රිය වීම නිසාය. දැන් රාවණ කුඩා දරුවන්ගේ වීරයාය. රාවණ දෙවන නාට්‍ය මාලාව අවසන්ය. ‍අධ්‍යක්ෂ තුෂාර තුන්වන ප්‍රයත්නයට අත ගැසීමට මේ දිනවල පිඹුරුපත් සකසන්නේය. රාවණ තෙවන නාට්‍ය මාලාවෙන් ජනුක මුණගැහෙන තුරු සූර්ය වංශයේ රාවණට වඩා ජනුක රාජපක්ෂ ගැන තොරතුරු විමසන්නට පිනිපලසින් අපි ඔහු හමුවුණෙමු. කොහෙමද ජනුක වාසෙ දේසේ? මේ දවස්වල ගම් පළාතට වෙලා ඉන්නවා ඉතිං. කොහෙද ජනුකගෙ ගම් පළාත? මම ගලේවෙල. මේ දවස්වල ෂූටින් නැද්ද? නෑනේ.... තමාත් රාවණ සීසන් 3 ආරම්භ කළේ නැහැනේ. රාවණ නැති වුණාට තව නිර්මාණ හැදෙනවානේ. අලුත් නිර්මාණවලට ආරාධනා ආවෙ නැද්ද? ආරාධනා නම් ලැබෙනවා. ඒත් භාර ගත්ත වැඩේ ඉවර කරන්න ඕනෙනේ. රාවණ වෙනුවෙන් මම කොණ්ඩයේ සිට මුළු ශරීරයම ඒ වෙනුවෙන් හැඩ ගස්වනවා. මේ පෙනුම රාවණට ගැළපුණාට අනිත් නිර්මාණවලට ගැළපෙන්නෙ නෑනේ. ඒ නිසා භාර ගත්ත වැ‍ඩේට අසාධාරණයක් නොකර ඒ වැ‍ඩේ ඉවර කරනවා. එහෙම රංගන වාරණ පනවා ගන්නෙ ඔබ වෘත්තීය නළුවෙක් නෙමෙයිද? මම රංගනයට කැමැතියි. ඒත් මම රංගනයට එන්න කලින් ව්‍යාපාරිකයෙක්. මගේ ව්‍යාපාර කටයුතුත් තියනවා. තාම මේ මගේ පළවෙනි නිර්මාණය. රංගනයට ආවා කියලා මම ව්‍යාපාරික කටයුතු නතර කළේ නෑ. ඒ නිසා තාම මට තෝරා බේරා ගෙන වැඩ කරන්න පුළුවන්කම ති​ෙයනවා. ඉදිරියේදී නිර්මාණ ලැබුණම මම තෝරා බේරා ගෙන ඒ වැඩ කරනවා. හැබැයි ව්‍යාපාරවලින් නම් ඈත් වෙන්න අදහසක් නෑ. ව්‍යාපාරිකයෙක් වුණු ජනුක නළුවෙක් වුණේ කොහොමද? 2017 වසරේ මම වසරේ හොඳම නිරූපණ ශිල්පියාට හිමි සම්මානය දිනා ගන්නවා. ඒ සම්මානය ලැබුණට පස්සේ දෙරණේ චරිත් කොතලාවල මහත්මයා මට කතා කරනවා රාවණ ටෙලි නාට්‍යයට. ඒ වෙනකොට රාවණ නිර්මාණය කරන්න සැලසුමක් තිබුණා. ඊට පස්සේ අධ්‍යක්ෂ තුෂාර මහත්මයයි, දෙරණේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයයි හමු වුණා. ලක්සිරි මහත්මයා තමයි කිව්වෙ මාව රාවණට ගැළපෙනවා කියලා. එහෙම කිව්වෙ තිර පරීක්ෂණයක් කරලද? නෑ. කිසිම පරීක්ෂණයක් නෑ. මම හිතන්නෙ ඒ ඔහුගෙ අත්දැකීම් අනුව ගත් තීරණයක්. අධ්‍යක්ෂවරයා කැමැති වුණාද රංගනයේ කිසිම අත්දැකීමක් නැති නිරූපණ ශිල්පියෙක්ව ලංකාවේ ඉතිහාසය විනිවිද දකින ටෙලි කතාවක ප්‍රබල චරිතය හැටියට තෝරා ගන්න? කැමැති වුණා. ඔහුට ඕනෙ නම් මට රඟපාන්න බෑ කියලා පළමු රිහසල් එකේදිම ඉවත් කරන්න තිබුණා. ඒත් ඔහු එහෙම කළේ නෑ. මටත් ශක්තියක් වෙමින් මාව දිරි ගැන්වූවා. ඒ කියන්නෙ පෙරහුරු පරීක්ෂණයේදී හොඳ හොඳ දේ සිද්ධ වෙලා තියනවා? අම්මෝ ඔව්. මන්දෝදරීත් එක්ක ප්‍රේම ජවනිකාවක් තමයි ඉස්සෙල්ලාම රඟපාන්න තිබුණේ. නාඹර ගැටයෙක්ට ප්‍රේම ජවනිකා නම් මොකක්ද? තමන්ගෙ ජීවිත අත්දැකීම් එක්ක වැඩේ සාර්ථකව ගොඩදාගන්න ඇති? අයියෝ නෑ.... කාටද අනේ දොනෝ දාහක් මැද්දේ, කැමරාවක් ඉස්සරහා ප්‍රේම ජවනිකා කරලා පුරුදු. අම්මෝ බය වෙච්ච පාර මට ඇඬුණා. එච්චරටම අපහසුතාවට පත් වුණා. එච්චර ලස්සන කෙල්ලෙක් ඉස්සරහා ප්‍රේම කරන එක එච්චරට අමාරුද? කෙල්ල ලස්සන බව ඇත්ත. ජවනිකාව ප්‍රේමය බවත් ඇත්ත. ඒත් කැමරාවක් ඉස්සරහා? ඒ මදිවට ඒ වචන. ඒ වගේ නුහුරු වචන එක්ක ප්‍රේම කරන්න විතරක් නෙමෙයි මට උන් හිටි තැනත් අමතක වුණා. අධ්‍යක්ෂවරයා ජනුකට වඩා බය වෙන්න ඇති? මමත් ඔය විදිහටම හිතුවා. රඟපෑම එතනින්ම ඉවරයි කියලා හිතුවා. වාසනාවට එහෙම වුණේ නෑ? මගෙ වාසනාවට ඉස්සෙල්ලාම හම්බවුණ අධ්‍යක්ෂවරයා හොඳ නිසා, ඔහුට හොඳට ඉවසීම ති​ෙයන නිසා, ආධුනිකයෙක් වුණත් හරි ට්‍රැක් එකට දාගන්න පුළුවන් නිසා මම අද නළුවෙක් විදියට පොළොවෙ පය ගහලා ඉන්නවා. ආධුනිකයෙක්ට ප්‍රධාන නළු භූමිකාව ලැබීම අරුමයක් නෙමෙයි. ඒත් ජනුකට කුලුඳුලේ ලැබුණෙ ප්‍රධාන නළු භූමිකාවට වඩා ප්‍රබල චරිතයක්. නෑ.. ඇත්තටම මම රාවණ ගැන දන්නෙ නෑ. රජ කෙනෙක් හිටියා කියලා දන්නවා. ඊට එහා දෙයක් දැන ගෙන හිටියේ නෑ. අද හිතෙනවා එහෙම වුණ එක හොඳයි කියලා. අධ්‍යක්ෂවරයාත් මට කිව්වා රාවණ ගැන කිසිම දෙයක් හොයන්න බලන්න කියවන්න එපා කියලා. ඒ නිසා මට ඒ චරිතේ බැරැරුම්කම තේරුණේ නෑ. එහෙම වෙච්ච නිසා අධ්‍යක්ෂවරයාට පුළුවන් වුණා ඔහු මවාගත්ත රාවණ මගෙන් ප්‍රතිනිර්මාණය කර ගන්න. ඒත් එදාට වඩා අද මම රාවණ ගැන දැනුවත්. මටත් ඒ ඉතිහාසය දැන ගැනීමේ,සොයා යෑමේ ආශාවක් ති​ෙයනවා. රාවණගේ පෙනුම ඔබේ ඒ වුණත් හඬ ඔබේ නෙමෙයි? ඔව්. රාවණ චරිතයට හඬ දුන්නේ ලංකාවේ දක්ෂ හඬ නිර්මාණ ශිල්පියෙක් වුණ අතුල ජයසිංහ අයියා. ස්කුබිඩූ හි ෂැගී ඇතුළු හුඟාක් කාටුන්වල ටෙලි නාට්‍යවල ඔහු ජනප්‍රිය චරිතවලට හඬකැවීම් කරලා ති​ෙයනවා. අධ්‍යක්ෂවරයා ඔබේ රුවට කැමැති වුණාට හඬට කැමැති වුණේ නැද්ද? ඒ දෙබස් හරි අමාරුයි. පුරුදු නැති නිසා උච්චාරණය හරි අමාරුයි. මේක වචන වරද්ද වරද්ද කියන්න බෑනේ. මගේ හඬ හොඳයි කියලා අතුල අයියත් කිව්වා. ඒත් වඩා හොඳයි අතුල අයියා ඒ චරිතයට හඬ දුන්න එක. ඒ හඬින් චරිතය තවත් ප්‍රබල වුණා. රංගනයේදී සහය රංගන ශිල්පීන්ගෙන් ලැබුණ සහය කොහොමද? හුඟාක් අය මම වගේම ආධුනිකයි. සමහරු කීපයක වැඩ කරලා ති​ෙයනවා. ඔය අතර ප්‍රවීණයොත් හිටියා. හැබැයි හැමෝටම මේක අලුත් අත්දැකීමක්. අනුරාධා එදිරිසිංහ ඒ කියන්නෙ රාවණගෙ අම්මා. අනුරාධාගෙන් මට ලැබුණ සහය කියලා නිම කරන්න බෑ. හොඳ සහයක් දුන්නා. ඒවගේම චමීර ලියනගේ අයියා. ඒ දෙන්නා නාට්‍යයෙන් පස්සෙත් දුක සැප බෙදා ගන්න හොඳ යාළුවො වුණා. පළමු නිර්මාණයෙන් ලැබුණ ප්‍රතිචාර ගැන සතුටු ද? ඇත්තටම සතුටුයි. වයස් භේදයක් නැතුව රසිකයො ගොඩක් ඉන්නවා. ඒ අය ආදරේ රාවණට ද, ජනුකටද? පුංචි ළමයි නම් රාවණට. ඒ අයට නළුවා සහ චරිතය වෙන් කරන්න බෑනේ. රාවණ තමයි එයාල‍ගෙ හීරෝ. වැඩිහිටි රසිකයො නම් රාවණ ‍පණ දුන් ජනුකට ආදරෙයි. අපි ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු? සැබෑ ජීවිතයේත් මන්දෝදරී කෙනෙක් ඇති නේද? නෑ... තාම මන්දෝදරී කෙනෙක් නෑ.. මන්දෝදරී කෙනෙක් හොයා ගන්න කලින් තව ළඟා කර ගන්න ඕන අරමුණු ති​ෙයනවා. ජනුකගෙ පවුලේ විස්තර දැන ගන්නත් රසිකයො කැමැති ඇති. අයියලා දෙන්නයි මල්ලියි. අම්මා නියෝජ්‍ය විදුහල්පතිනියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. මම ඉගෙන ගත්තෙ කුරුණෑගල මලිදේව විදුහලේ. මේවා තමයි ඉතින් පෞද්ගලික විස්තර. අයියලා මල්ලිලාත් ජනුක වගේම උසද? ඔව් අපි හැමෝම අඩි 6 ට වඩා උසයි. ජනුක උස කීයද? අඩි 6 අඟල් 4යි. ඔය උසට හරියන නිළියො තමයි හොයා ගන්න අමාරු? ඒ කතාවෙ නම් පොඩි ඇත්තක් ති​ෙයනවා. අවසාන වශයෙන් රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම ස්තූති කරන්න ඕනෑ රංගන ශිල්පියෙක් විදියට ක්ෂේත්‍රයට ආව ගමන් මාව උණුසුම්ව වැලඳගත්තට, ආදරය කළාට. මමත් ඔයාලා හැමෝටම ආදරෙයි. රාවණ 3 ත් එක්ක මම එනකන් ඉවසගෙන ඉන්න කියලා ආද‍රයෙන් කියනවා. හිමේෂා සවන්තී රාජපක්ෂ ඡායාරූප- අසන්ත ගමආරච්චි
 

More News..