brand logo

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

20 December 2019

පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (20) ප්‍රතික්ෂේප කරන ලදී. පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු ලෙස නම්කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් තමා පෙනී සිටින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය. එම අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණයේ සඳහන් කළේ අපේක්ෂිත ඇප පෙත්සමක් යනු මුලින්ම ඒක පාක්ෂිකව කරුණු සලකා බැලිය යුතු නඩු කටයුත්තක් බැවින් මෙම අවස්ථාවේ වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම සටහන් කර ගැනීම අනවශ්‍ය බවයි. ඉන් අනතුරුව පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. එහිදී ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් රහස් පොලිසිය විසින් තම සේවා දායකයා අත්අඩංගුට ගැනීමට සූදානම් වන්නේ මිනීමැරුමක්, පොදු දේපල අවභාවිතයක් හෝ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොව අපරාධ ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ලබා දුන් ප්‍රකාශයක් මත දේශපාලන පළිගැනීමක් වශයෙන් බව ප්‍රකාශ කළේය. ඉකුත් ජනාධිපතිවරණය සමයේ තම සේවාදායකයන් හමුවූ පුද්ගලයින් දෙදෙනකු තමන් පසුගිය කාලයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑමේ සිද්ධීන් හා ප්‍රභාකරන්ට අයත් රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් පිළිබඳව තමන් තොරතුරු දන්නේ යැයි තම සේවාදායකයාට ප්‍රකාශ කර තිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එම පුද්ගලයින් දෙදෙනා පැවසූ කරුණු වල බැලූ බැල්මටම යම් සත්‍යතාවක් තිබෙන බවට පෙනී ගිය හෙයින් එය මහජනතාව වෙත ප්‍රකාශ කළ යුතු බවට තම සේවාදායකයා තීන්දුවක් ගැනීම හේතුවෙන් ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ මූලික අයිතිය යටතේ මෙම පුද්ගලයින් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවකට ඉදිරිපත් කළ බවද ජනාධිපති නීතිඥවරයා පැවසුවේය. පසුව මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් බරපතළ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට පසුව කරුණු අනාවරණය වූ බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ බණ්ඩාර මහතා ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවේදී තමන් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ලබා දුන් තොරතුරු බවත් ඒ වෙනුවෙන් හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදුන් බවට එම පුද්ගලයින් දෙදෙනා රහස් පොලිසියට ලබාදුන් ප්‍රකාශ වල සඳහන් කර ඇති බවත් විවෘත අධිකරණයේ පැවසුවේය. මෙම කරුණු තම සේවාදායකයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කී ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා බරපතල අපරාධකරුවන් දෙදෙනෙකු ලබාදුන් ප්‍රකාශ මත දේශපාලනික පළිගැනීමක් වශයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන සිර භාරයේ තැබීමට රහස් පොලිසිය සූදානම් වන හෙයින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ලබා ගැනීමේ අරමුණින් ඔහු අධිකරණය හමුවට පැමිණ ඇති බවද දන්වා සිටියේය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය සඳහන් කළේ මෙම පෙත්සම්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්තිය යටතේ ද යන්න ගැන ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ හා දිවුරුම් ප්‍රකාශයේ නිශ්චිතව සඳහන් කර නොමැති බවයි. මේ හේතුවෙන් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේ ද යන්න පැහැදිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටියාය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මිනීමැරීමේ චෝදනා හැර මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ ගොනු කර තිබෙන "බී"වාර්තාවේ සෙසු වැරදි සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප ඉල්ලා සිටින බවයි. අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී එම අයදුම්පත ඉදිරිපත් කරන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලිව පෙත්සමේ පැහැදිලිව සඳහන් කර තිබිය යුතු බව පෙන්වා දුන්නාය. අපේක්ෂිත ඇප අයදුම්පතක් සලකා බැලීමේදී එම කාරණය නිරවුල්ව හා නිශ්චිතව සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එසේ නොවුණහොත් අධිකරණයක් විසින් යම් පෙත්සම් කරුවෙකුට ප්‍රදානය කරන අපේක්ෂිත ඇපයක් ඔහු විසින් සිදුකරන වෙනත් වැරදි වලටද අදාළ විය හැකි බවත් ඒ හරහා නීති ක්‍රියාදාමය තුළ ව්‍යාකූල තත්වයක් නිර්මාණය විය හැකි බවත් පෙන්වා දුන්නාය. ඒ අනුව මෙම අපේක්ෂිත ඇප අයදුම්පත මගින් පෙත්සම්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන වැරැදි පිළිබඳව නිශ්චිතව හා පැහැදිලිව කරුණු දක්වා නොමැති හෙයින් එය සලකා බැලීම සඳහා අධිකරණයට හැකියාවක් නොමැති බව තීන්දු කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ අනුව එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය. අධිකරණ වාර්තාකරු
 

More News..