brand logo

රාජිත මෙතෙක් අත්අඩංගුවට ගෙන නෑ - නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

27 December 2019

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මේ දක්වා අත්අඩංගුවට ගෙන නැතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. පසුගිය ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළ නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලීසියෙන් විමසා සිටියේ එම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජිත සේනාරත්න මහතා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා ද යන්නයි. රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ රාජිත සේනාරත්න මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටී. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කියා සිටියේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ ලබා ගැනීමට සුදුසු නොවන බවට දී ඇති වෛද්‍ය නිර්දේශය අනුව ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
 

More News..