brand logo

රාජිත ඇවන්ට්ගාඩ් සමාගමෙන් ලක්ෂ 200ක් ගත්තා

03 July 2020

හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න ඇවන්ට්ගාඩ් සමාගමෙන් රුපියල් ලක්ෂ දෙසීයක මුදලක් ලබාගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ අදාළ චෙක්පත් හා ලිපිලේඛන ද ඉදිරිපත් කරමින් පැවැසීය. ඉකුත් 2015 වසරේ ජුනි මස 14, ජූලි මස 08 සහ අගෝස්තු මස 11 යන දිනවල ලක්ෂ පනහ බැගින් චෙක්පතක් ලබා ගෙන ඇතැයි ද ඉතිරි ලක්ෂ පනහ මුදල් වශයෙන් ලබාගෙන ඇතැයිද හෙතෙම කීවේය. හිටපු මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවේදීය. ඇවන්ට්ගාඩ් සමාගමෙන් තමන් මුදල් ලබාගත් බවට හැකි නම් ඔප්පු කරන ලෙස රාජිත සේනාරත්න තමන්ට අභියෝග කළ බවත් දැන් සත්‍ය තත්ත්වය තමන් රටට හෙළි කළ බවත් කී විජයදාස රාජපක්ෂ ඇවන්ට්ගාඩ් සිද්ධියට සම්බන්ධ වූ ව්‍යාපාරිකයන් තමන්ට මෙම තොරතුරු ලබා දුන් බවත් කීවේය. සියලුම ලේඛන මා සතුයි. ලක්ෂ පනහේ චෙක්පත්වලට අත්සන් කර භාර ගෙන තිබෙන්නේ එවකට ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වූ සයුර සමරසුන්දර, රාජිත සේනාරත්නට කියන්න තවත් දෙයක් දැන් ඉතිරි වෙලා නැහැ’’ යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය. අශිකා ජයවීර
 

More News..