brand logo

රාජිතට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

17 December 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ පාදයේ ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට ලබන 19 වැනිදා කරච්චිහිදී පැවැත්වීමට යෙදී තිබෙන දෙවැනි ටෙස්ට් තරගය අහිමි වී තිබේ. නිමාවට පත් වූ පළමු තරගයේදී රාජිතගේ පාදයේ මස්පිඬු ආශ්‍රිතව ආබාධයකට ලක්විය. පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා පිතිකරණයේ නියැළුණු පන්දුවාර 70න් පන්දුවාර 6ක් රාජිත විසින් යවා තිබිණි. එහිදී ඔහු විසින් ප්‍රතිවාදීන්ට ලකුණු 5ක් ලබාදෙමින් ඔවුන් ගේ ආරම්භක පිතිකරු වූ ශාන් මසූඩ්ව දවා ගැනීමටද සමත් විය. ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් සුරංග ලක්මාල්ට මෙම තරගාවලියට සහභාගි වීමට නොහැකි වූ අතර ඔහුගෙන් වන පුරප්පාඩුව පිරවීම සඳහා එක් වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත වෙනුවට මීළග තරගයේදි ක්‍රීඩා කරනු ඇත. අදාළ තරගයේදී බාබර් අසාම් විසින් රැස්කළ ලකුණු 102 හේතුවෙන් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණියේ 9 වැනි ස්ථානයට පත්ව තිබේ. ඔහු මෙම ශ්‍රේණියේ පළමු 10දෙනා අතරට පිවිසි පළමු අවස්ථාව වශයෙන් එය සටහන් විය. පාකිස්තානයට ටෙස්ට් ප්‍රසාද ලකුණු ලැ​ෙබයි ශ්‍රී ලංකාව සමග පැවැති තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වීමත් සමගින් ටෙස්ට් ලෝක ශූරතාව යටතේ තරග තුනකට සහභාගි වීමෙන් පසුව මුල් වතාවට පාකිස්තානයට ප්‍රසාද ලකුණු 20ක් හිමිව තිබේ. ඒ අනුව ඔවුන් කණ්ඩායම් අතර 6 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාවටද අදාළ ප්‍රසාද ලකුණු 20 හිමි වූ අතර ඔවුන් මීට පෙර පැවැති තරග දෙකෙන් එකක් ජයගෙන ලබා තිබුණු ප්‍රසාද ලකුණු 60ත් සමගින් එය මේ වනවිට 80ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාව එම සටහනට අනුව තුන්වැනි තැන පසුවේ.
 

More News..