brand logo

රාජිතට ඇප

30 December 2019

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලක රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (30) නියම කළාය. ඒ අනුව සැකකරු රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත භාරදිය යුතු බවට ද නියම කළාය. එමෙන්ම සැකකාර සේනාරත්න මහතාගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. රෝහලින් පිටව යාමෙන් පසුව රහස් පොලිසිය හමුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද මෙහි දී මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකාර රාජිත සේනාරත්න මහතාට නියෝග කරන ලදී. මෙම පැමිණිල්ල අද දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉකුත් 24 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව සැකකාර රාජිත සේනාරත්න පැය 46 කට ආසන්න කාලයක් සැඟව සිට පසුව නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් මතුවූ බව සඳහන් කළේය. මෙසේ සැඟව සිටි කාලයේ සීමාවේ පොලිසිය සැකකරුගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් හා දරුවන්ගෙන් විමසීම සිදු කළත් ඔහු සිටින තැන නොදන්නා බවට ඔහු විසින් ප්‍රකාශ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සදහන් කර සිටියේය. අව් කණ්ණාඩියක් හා හිස්වැසුමක් පැළඳ ගෙන වෙස් වලාගෙන සැකකාර රාජිත සේනාරත්න ලංකා රෝහල වෙත ගො තිබෙන බවත් ඉන් අනතුරුව ඔහු ඍජුවම හෘද ශල්‍ය ඒකකයේ පවතින දැඩි චිකිත්සක අංශයට ඇතුළත් කර ඇති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියේය. "ස්වාමීනි ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා ලංකා පෞද්ගලික රෝහල වෙත ගියා. මෙම අවස්ථාවේ එහි සිටි උමාශංකර් නැමති වෛද්‍යවරයෙකු සැකකරු අසලට යාමට එම නිලධාරීන්ට අවසර ලබාදුන්නේ නැහැ. ප්‍රකාශයක් ලබා ගැනීමට පවා අවස්ථාවක් දුන්නේ නෑ. කිසිදු රෝගී තත්ත්වයක් නැති පුද්ගලයකු මේ ආකාරයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඔහුව අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට ලංකා රෝහලේ වෛද්‍යවරු කටයුතු කර තිබෙන බව මා සඳහන් කර සිටිනවා. නිසි දිවුරුමක් මත රාජකාරිය සිදු කරන වෛද්‍යවරු මේ ආකාරයෙන් අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා සිය වෘත්තීය අවභාවිතයට ලක් කිරීම දැඩි ලෙස හෙළා දකිනවා. කිසිදු රෝගී තත්වයක් නොමැතිවය සැකකාර රාජිත සේනාරත්න මේ වන විට අදාළ රෝහලේ නේවාසිකව රඳවා සිටින්නේ. මෙම සිද්ධිය හරහා සැකකරු හිතාමතාම නීතිය අපගමනයකට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් වාර්තාවක් කැදවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකරුවන් දෙදෙනාට මුදල් ලබාදී තිබෙන්නේ මොහොමඩ් රූමි මොහොමඩ් හසීම් නැමැත්තෙකු විසින්. ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා රහස් පොලිසියේ නිලධාරීන් ඔහුගේ නිවෙසට ගිය අවස්ථාවේ ඔහු සිය ජංගම දුරකථනය සහ වාහනය නිවසේ දමා පිටව ගොස් තිබෙන බවට ඔහුගේ බිරිඳ විසින් දැනුම්දුන්නා. ඒ අනුව එම පුද්ගලයා ද මේ වන විට අතුරුදන්ව සිටිනවා. මේ හේතුවෙන් මොහොමඩ් රූමි නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඔහුට රටින් පිටවීම වැළැක්වීම සඳහා විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම තත්වය හමුවේ සැකකාර රාජිත සේනාරත්නට ඇප ලබා දුනහොත් ඉන් පරීක්ෂණ කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද රජයෙන් සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඉකුත් 24 වන දා වරෙන්තුව නිකුත් කිරීමෙන් පසුව සැකකාර රාජිත සේනාරත්න මහතා කොළඹින් බැහැර ප්‍රදේශයක සිට ඉකුත් 26 වනදා අධිකරණය වෙත ඉදිරිපත් වීමට පැමිණි බවත් එසේ පැමිණි අවස්ථාවේ ඔහු හදිසියේ රෝගාතුර වීම නිසා කොළඹ ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් කළ බවත් සඳහන් කළේය. මුබාරක් නැමති කීර්තිමත් වෛද්‍යවරයෙකු වූ තම සේවාදායකයාට ප්‍රතිකාර ගනිමින් සිටින බවටත් ඔහුගේ අනුමැතියකින් තොරව බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් රෝහලට කඩාවැදී තම සේවාදායකයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට තැත් කර ඇති බවද මෙහිදී ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය. මෙහිදී තම සේවාදායකයාට පොලීසිය විසින් එල්ල කර තිබෙන චෝදනාව ඇප දිය හැකි වැරදි බැවින් තම සේවාදායකයා ඇපමත මුදා ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔවුන් විසින් ප්‍රශ්න ගත මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළ මිනීමැරුම්, පැහැරගෙන යාම හා කොල්ලකෑම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මුලින්ම රහස් පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබූ බවත් සිහිපත් කළාය. එහෙත් ඉකුත් නඩු දිනයේදී මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව විමර්ශන සිදු නොකරන බවට රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් දැනුම් දුන් බවද පෙන්වාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම වාතාවරණය මත සැකකාර රාජිත සේනාරත්න මෙම නඩු කටයුත්තේ සැකකරුවකු ලෙස නම් කිරීම තුළ පරස්පරතාවයක් දක්නට තිබෙන බව සඳහන් කළාය. එමෙන්ම මෙහි සැකකරුවකු ලෙස රාජිත සේනාරත්න නම් කිරීමේ ක්‍රියාපටිපාටිය තුළ අවිධිමත් භාවයක් දක්නට තිබෙන බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය. එම වාතාවරණය මත සැකකාර රාජිත සේනාරත්න ඇපමත මූදාහරින බව නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත ලබන ජනවාරි මස 6 වනදා කැඳවන ලෙසත් එදින මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් රහස් පොලිසියට නියෝග කළාය. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාට අදාළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා මුදල් ලබා දුන් බව කියන මොහොමඩ් රූමි මොහොමඩ් හසීම් නමැත්තා අත්අඩංගුවේ ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කරන බවද සඳහන් කළාය. (අධිකරණ වාර්තාකරු)
 

More News..