brand logo

රාජිතගේ සුදු වෑන් අතේරෝල වඩිගපටුන නැට්ටුවෝ හෙළි කරති

21 December 2019

ජනපතිවරණයට දෙතුන් සතියක් තිබියදී රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ නිවසේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණේය. ඊට එක්ව සිටියේ වඩිගපටුන නැටුමකට මෙන් බොරු රැවුල් දමාගත් පුද්ගලයන් දෙදෙනෙකි. ඇමැතිවරයා මැදි කරගෙන වාඩි වූ ඔවුන් දෙදෙනා හෙළි කළ කතා ඇසූ සමහරු ඇඟේ මයිල් කෙළින් කර ගත්හ. තවත් සමහරු සිනාසුනහ. ඒ ඔවුන්ගේ බිහිසුණු හෙළිදරව්ව විනෝදජනක චිත්‍රපටයකට හොඳ තිරපටයක් වූ බැවිනි. මේ වඩිග පටුන නැට්ටුවන් දෙදෙනා එදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ සාරාංශය වූයේ පසුගිය සමයේ සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගත් අවස්ථාවේදී එම වෑන් රථ ධාවනය කළේ ඔවුන් බවය. ඒ පැහැරගත් මිනිසුන් වැවක සිටින කිඹුලන්ට කන්නට දැමූ බව ඔවුහු දෙදෙනා කීහ. එමෙන්ම උතුරෙන් සොයාගත් ප්‍රභාකරන්ගේ රත්රන් හා මුදල් ගෝඨාභය රාජපක්ෂ ලේකම්ව සිටි සමයේ තමන් කොළඹට ගෙනා බවද ඔවුහු හෙළි කළහ. කෙසේ නමුදු මේ දෙන්නා එල්ල කළ බරපතළ කතාවේ සුලමුල සොයන්නට පොලිසිය තීරණය කළේය. එහිදී හෙළි වූයේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ඇඟේ මයිල් කෙළින් වන කතාවකි. උණ්ඩියල් අතුල හෙවත් අතුල සංජීව මදනායක හා ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු හෙවත් සරත් කුමාර යන දෙදෙනාව ඉකුත් සතියේ කඩවත මහර පාරේ අවන්හලකදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගය. එහිදී ඔවුන් පොලිසියට පවසා තිබුණේ රාජිත සේනාරත්න ඇමැතිවරයා මේ බොරු කතා කියන්නට තමන්ට සල්ලි දුන් නිසා තමන් ඒ කතා කී බවය. උණ්ඩියල් අතුල 2014 සිට පසුගිය මාර්තු මාසය දක්වා සිටියේ සිරගතවය. හිරෙන් නිදහස්ව පැමිණි උණ්ඩියල් අතුලව ඔහුගේ හොඳම මිතුරා සරත් මාර්ගයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන පොල්ගම්පොළ නමැත්තකු හමුවීමට ගොස් තිබේ. ඇමැති රාජිත සේනාරත්න හමුවීමට අතුල ගියේ නොවැම්බර් 04 දාය. රැගෙන ගිය බව පවසන්නේ එම මන්ත්‍රීවරයාය. කතිකා කරගත් පරිදි සුදු වෑන් භීතිකාව ගැන මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඉකුත් නොවැම්බර් 10දාය. ඇමැති රාජිත සේනාරත්න සමග මොවුන් දෙදෙනා ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ බොරු රැවුල් යොදා ගෙනය. මොවුන්ට මේකප් රැවුල් දමන්නේ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පාළු නිවසකදීය. රට හමුවේ සුදු වෑන් භීෂණයක් ගැන මාධ්‍ය හමුවක් සැලසුම් කළ අයුරු රහස් පොලිස් අත්අඩංගුවට පත් වූ පසු ඔවුහු දෙදෙනා හෙළි කරන්නට වූහ. සරත් කුමාර නොහොත් ඩග්ලස් රහස් පොලිසියට පාපොච්චාරණය කර තිබුණේ තමන් උණ්ඩියල් අතුලද සමගින් රාජිත ඇමැතිවරයා හමුවූ බවය. අපි කලින් හමුවූ මොහොතේ රාජිත ​ඇමැතිතුමා අපිට කියන්න අවශ්‍ය තොරතුරු දෙනවා මේක කරන්න පුළුවන්ද කියා ඇහුවා. මෙතැනදි ගාන කතා කළෙත් ඇමැතිතුමයි. අපි දෙන්නා රුපියල් ලක්ෂ තිහක් ඉල්ලුවා. අපිට මුදල් ගෙවීම භාරවුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූමි මොහමඩ්ට. අපේ ගාන අඩු කරන්න බැරිද කියල රූමි අපෙන් ඇහුවා. මේක මෙතැනින් ඉවර වෙන්නේ නැහැ. අපි ඔයගොල්ලන්ට උදව් කරනවා. ඉන්න ගෙවල් දෙකක් දෙනවා. ඇමරිකාවේ තානාපති කාර්යාලයේ කම්කරු රැකියා දෙකක් ලබාදී පවුල් පිටින් රට යවනවා’’ කියා ඇමැති රාජිත අපිට පොරොන්දු වුණා. අන්තිමේදී රුපියල් ලක්ෂ විස්සට අපි මේකට කැමැති වුණා.’’ අපිට කොළයක මුද්‍රණය කරලා සුදුවෑන් නාටකය ගැන කියන්න කියලා අතට දුන්නා. ඒවා කට පාඩම් කරන අතරේ රූමි මහත්තයා කතා කරලා අපිට නොවැම්බර් 09 දා වාහනයක් එව්වා. ඊට පස්සේ තමයි බොරු රැවුල් කණ්ණාඩි දාගෙන සූදානම් වුණේ. එදාම අපි දෙන්නට රුපියල් ලක්ෂ විස්සක් ගෙනත් දුන්නා. අපිට ලක්ෂ විස්ස දීලා මේක කෙරෙව්වා. ඊට පස්සේ සුදු වෑන් සිද්ධිය ගැන අපි කරපු බොරුව හෙළි කළොත් අපිවත් සුදු වෑන් එකේ යවන්න වෙන බව ඇමැති රාජිත සේනාරත්න පැවසූ වග සරත් අතුල පොලිසියට පවසා තිබේ. උණ්ඩියල් අතුල රටේම නමගිය අපරාධ රැසකට සම්බන්ධ බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මෝදර හැටන් නැෂනල් බැංකුවේ සිට මුදල් රැගෙන ආ කාන්තාවක් කොල්ලයකට ගොස් කොල්ලය වැරදි උණ්ඩියල් අතුල ගල්කටස් අවියකින් කළ වෙඩි තැබීමකින් කොල්ලයට ගිය ඔහුගේම ගෝලයකු මරණයට පත්විය. ඒ 2013 සැප්තැම්බර් 25දාය. එහිදී රුපියල් පන්ලක්ෂ හතළිස් හතර දාහක් කොල්ලකා තිබිණි. ජාඇලදී 2013දී රුපියල් ලක්ෂ හැත්තෑපහේ මුදල් කොල්ලය කරන්නේත් උණ්ඩියල් අතුලගේ කණ්ඩායමය. පොලිටෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු රුපියල් ලක්ෂ හැත්තෑපහක් රැගෙන කර්මාන්ත ශාලාවට යද්දීම ගිනි අවි රැගෙන ගොස් මෙම කොල්ලය කර තිබේ. උණ්ඩියල් අතුලගේ කණ්ඩායම එම කොල්ලය කරන්නේ සුදු වෑන් රථයකින් ගොසින්ය. ඇඟලුම් කම්හලේ හිමිකරු තම දියණියගේ විවාහ මංගල්‍යයට මුදල් රැගෙන යද්දී මෙසේ ඔහුගෙන් මුදල් කොල්ලකා තිබුණි. එයින් සතියකට පසුව ඒ ගැන සිත්තැවුලට පත්ව හෘදයාබාධයක් වැලඳීමෙන් පොලිටෙක්ස් හිමිකරු මරණයට පත් විය. 2013 මැයි 28 දා වූ එම කොල්ලයට ජාඇල පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 154 / 2013 අදාළව නඩු පවරා තිබේ. මෙම කල්ලියට එරෙහිව පළමු නඩුව පැවරෙන්නේ කොටහේනේය. බල අපරාධ අංක 69/2013 යටතේ මෙම නඩුව පැවරෙන්නේ සුදු වෑන් රථයකින් ගොස් කොටහේන කොමර්ෂල් බැංකුවේ සිට රුපියල් ලක්ෂ දහයක් රැගෙන ආ අයකුට හිසට පොල්ලකින් පහරදී මුදල් කොල්ලකෑම සම්බන්ධවය. ඒ 2012 අප්‍රේල් 05දාය. 2013 ජනවාරි 31දා මෝදර පොලිස් වසමෙන් රුපියල් ලක්ෂ විසි එකක් වටිනා ටවුන්ඒස් වර්ගයේ සුදු වෑන් රථයක් කොල්ලකාගෙන ගොස් තිබුණේය. එම කොල්ලකෑ වෑන් රථයෙන් ගොස් පෙබරවාරි 01දා හෙට්ටිවීදිය සාරාංගා ජුවලර්ස් ආයතනයේ උණ්ඩියල් මුදල් හා රන් භාණ්ඩ කොල්ලකන්නේද මෙම සුදු වෑන් කල්ලියමය. එහිදී රුපියල් ලක්ෂ 45ක දේපොළ කොල්ලකා තිබුණේය. බල අපරාධ අංක 22/2013 යටතේ පිටකොටුව පොලිසිය මෙම නඩුව පවරා තිබුණේය. වව්නියාවේ පදිංචි රාජා නමැති ජුවලරි ආයතනයේම සේවකයකු මොවුන්ට ඔත්තු සපයා තිබිණි. රාජාගේම ඔත්තුවකින් යළිත් සාරංගා ජුවලර්ස් ආයතනය වෙත යාපනයේ සිට රැගෙන ආ රත්තරන් කූරු දෙකක් හා විදේශ මුදල් සහිතව රුපියල් කෝටි තුනහමාරක දේපොළ යළි කොල්ලකන්නේ 2013 අගෝස්තු 06දාය. ටී 56 ගිනි අවි දෙකක් හා පිස්තෝලයක් රැගෙන විත් මෙම කොල්ලය සිදු කර තිබුණේය. කඳාන හැටන් නැෂනල් බැංකුවේ සිට රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් රැගෙන යමින් සිටි යුවළකට පිහියෙන් ඇන ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය කොල්ලකාගෙන යන්නේ උණ්ඩියල් අතුලගේ සුදු වෑන් කල්ලියයි. ජාඇල හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් ලක්ෂ තුනක් රැගෙන යමින් සිටි කාන්තාවක් හඹා ගොස් ඇගේ මෝටර් රථය නවතා කොල්ලකාගෙන යන්නේත්​ මෙම කල්ලියමය. 2013 මාර්තු 13දා එම කොල්ලය වාර්තා විය. කොටහේන පොලිස් වසමේදී කාන්තාවකට පිහියෙන් ඇන රුපියල් දස ලක්ෂ අටසියයක් කොල්ලකා තිබුණේද මෙම කල්ලියය. වත්තල පොලිස් වසමේදීත් රුපියල් ලක්ෂ හතර හමාරක් කොල්ලකාගෙන යන්නේ බැංකුවේ සිට මුදල් රැගෙන එන යුවළකට පිහියෙන් අනිමින්ය. ආරක්ෂක අංශ මෙන් පෙනී සිටිමින් රටේ අපරාධ රැසක් කළ සුදු වෑන් කල්ලියේ වතගොත යළිත් කරළියට එන්නේ ඇමැති රාජිත සේනාරත්නගේ මහා හෙළිදරව්ව නිසාය. තිස්ස රවින්ද්‍ර​ පෙරේරා
 

More News..