brand logo

රාජාසන කතාවට එක්දින වාදයක්

28 December 2019

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ විසින් ජනවාරි 03 දා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයක් ඉන් පසු පාර්ලිමේන්තු සතියේ දිනක විපක්ෂයට ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇත. විපක්ෂයේ ඉල්ලීම මත ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත. විවාදය අවසානයේදී විපක්ෂය විසින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එරෙහිව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් ඊට මුහුණ දීමටද තමන් සූදානමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශකයෙක් ‘ සති අග අරුණට’ පැවැසුවේය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට වඩා වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් විපක්ෂයට ඇත. ඡන්ද විමසීමකදී ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් වූවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු වන්නේ නැතැයි පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් පැවැසීය. තමන්ට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයක් පමණක් බවද ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ නැතැයිද විපක්ෂ නායක ලෙස පත්වීමට නියමිත සජිත් ප්‍රේමදාස පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පවත්වන විවාදය අවසානයේදී ඒ සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා සිටින්නේදැයි අපි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගෙන්ද විමසා සිටියෙමු. පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව සුළුතරය බවට පත්ව සිටින නිසා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත්විය හැකි බැවින් තම පක්ෂය ඡන්දයක් ඉල්ලා නොසිටින බව හෙතෙම පැවැසීය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත්කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් කිරීමට තමන්ට අවශ්‍යතාවක් නැතැයිද ජවිපෙ නායකයා කීවේය. අජිත් අලහකෝන්
 

More News..