brand logo

රාජ්‍ය සේවිකාවන් තවමත් සායවල් කලිසම් ගැලෙව්වේ නැ

10 January 2021

ජනවාරි පළමුවැනිදා සිට සෑම සිකුරාදාවකම කාර්යාලයට වැඩපොළට එනවිට බතික් ඇඳුමක් ඇඳගෙන එන්නැයි බතික් රාජ්‍ය ආමාත්‍ය දයාසිරි ජයසේකර මීට මාස කීපයකට ඉහතදීම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි. එයින් නොනැවතුන ඇමැතිවරයා සෑම සිකුරාදාවකම බතික් අඳින්නැයි කියන චක්‍ර ලේඛයක් නිකුත් කරන බවද කීවේය. මේ කතාවත් සමග බොහෝදෙනෙක් කීවේ ‘නිකන් ඉඳලා පඩි ගන්න රාජ්‍ය සේවකයන්ට ඕවා මොනවද’ කියාය. එ්ත් ඇත්තටම ජනවාරි පළමු වැනිදා රාජ්‍ය සේවකයෝ බතික් ඇන්දාද? මේ සැකය ජනවාරි පළමු වැනිදා සේවයට ගිය රාජ්‍ය සේවකයන්ටත් පැන නැගුණි. ඒ ඔවුන් සේවය කරන රාජ්‍ය ආයතනවල බතික් තියා, සායමක් ඉස හෝ සාරියක් කමිසයක් හැඳ පැමිණි අයෙක් සොයා ගැනීමට නොහැකි වූ නිසාය. මේ ගැන රාජ්‍ය සේවයේ නියුතු මාගේ මිතුරියකගෙන් මා විමසා සිටියේ, පළමුවැනිදා බතික් ඇන්දේ නැද්දැයි කියාය. ‘බතික් අඳින්න කලින් සාරි අඳින්න කියන්න එපැයි. දැන් අවුරුද්දක් වෙනවා අපි සාරියක් ඇඳගෙන වැඩට ගිහිල්ලා නැහැ. මේ කොවිඩ් එකත් එක්ක අපි සායවල්, කලිසම් තමයි ඇන්දේ. ඉතින් බතික් අඳින්න කියන්න කලින් සාරිය ඇඳගෙන එන්න කියලනේ කියන්න ඕනේ.” ඈ කීවාය. සාමාන්‍යයෙන් රජයේ කන්තෝරුවල විධායක ශ්‍රේණියේ රැකියාව කරන නිලධාරීහු සහ අලුතින් පැමිණි කිහිපදෙනෙකු හැරෙන්නට වෙනත් කිසිම සේවකයකු බතික් මෝස්තරයෙන් සැරසී පැමිණ නොසිටියහ. ඒ බව තහවුරු කළෙත් එම ආයතනයන්හි ප්‍රධානීන්මය. සාමාන්‍යයෙන් රජයේ කන්තෝරුවල විධායක ශ්‍රේණියේ රැකියාව කරන නිලධාරීහු සහ අලුතින් පැමිණි කිහිපදෙනෙකුත් හැරෙන්නට වෙනත් කිසිම සේවකයකු බතික් මෝස්තරයෙන් සැරසී පැමිණ නොසිටියහ. ඒ බව තහවුරු කළේත් එම ආයතනයන්හි ප්‍රධානීන්මය. කෙසේ වෙතත්, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන් නම් බතික් මෝස්තරයෙන් සැරසී පැමිණි සිටි බව එම අමාත්‍යාංශයේ ප්‍රධානීහු කියති. එ්ත්, ඇමැතිවරයාගේ ඉල්ලීම බොහෝ රාජ්‍ය සේවකයන් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් පවා ඒ කනෙන් අසා මේ කනින් පිට කර තිබුණි. එයට හේතු නම් දහසක් විය. එයින් පළමු වැන්න බතික් සාරියේ බරට වඩා මිලේ බර පොකැට්ටුවට දැනෙන නිසාය. සාමාන්‍යයෙන් රජයේ සේවකයෙකුගේ අවම පඩිය රුපියල් විසි දහසක් වැනි ගණනකි. නමුත්, මුළු වැටුපම අතට ආ දිනක් ඔවුන් දන්නේ නැත. ඒ ඔවුන් බොහෝ දෙනෙකුගේ වැටුපෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ‘බැංකු ලෝන්’වලට කැපී යන නිසාය. මෙසේ සේවක අර්ථසාධක අරමුදලටත්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලටත්, බැංකුවටත්, ගමේ සිට්ටුවටත් බෙදා ඉතුරුවන මුදලින් ගෙදරටත් කන්න බොන්න දී රුපියල් පන්දහසේ බතික් සාරියක් හෝ කමිසයක් අඳින්නට සිතීම පවා දවාලේ දකින සිහිනයක් යැයි රාජ්‍ය සේවකයෝ පවසති. එහිදී සළුසලේ හෝ ලක්සලේ අලෙවි කිරීමට ඇති බතික් මෝස්තර පිළිබඳව මතක් කළ යුතුමය. ඒවායේ මිල ආරම්භ වන්නේම රුපියල් හාරදහසේ සිටය. ඒ නිසාම ඒවායේ ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට බහුතරයක් පැමිණෙන්නේ ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවේ නියුතු, ආයතන හිමිකරුවන් සහ ප්‍රභූ පැලැන්තියයි. මේ ආකාරයට මිල ගණන් පිළිබඳව කතා කිරීමේදී බතික් අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමට පැමිණි දින හැඳ සිටි බතික් ඇඳුම පිළිබඳවත් කතා කළයුතුමය. එනම්, සිල්ක් රෙද්දෙන් කළ එම බතික් සරම සහ කමිසයේ මිල රුපියල් දොළොස්දහසක් පමණ වන්නේය. එබැවින් එතරම් වටිනාකමකින් යුතු ඇඳුමක් තමන්ගේ මංගල උත්සවයකටවත් අඳින්නේ නැති බව රාජ්‍ය සේවයේ නියුතු බොහෝ දෙනා කියති. එනම්, මංගල සාරිය පවා කුලියට ගන්නා කාලෙක එදිනෙදා කන්තෝරු යන්නට පන්දහස ඉක්ම වූ ඇඳුමක් අඳින්නේ කෙසේදැයි ඔවුහු විමසති. මේ අතර බතික් වෙළෙඳාම් කරන යුවතියක් අපට හමුවිය. ඈ නයනි ගුණතිලකය. වසර කිහිපයක් තිස්සේ බතික් වෙළෙඳාම් කරන ඇයගේ මෙවර බතික් නිමි ඇඳුම් වෙළෙඳාම නම් සාර්ථක වුයේ නැත. ‘අපි සාමාන්‍යයෙන් තොග ගාණට තමයි බතික් සාරි ගන්නේ. සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ එක බතික් සාරියක තොග මිල වුණේ රුපියල් තුන්දහස් පන්සියයක්. එ්ත් දැන් තොග මිල විතරක් වෙනවා රුපියල් හාරදහස් පන්සීයයක්. ඉතින් කොහොමද අපි හාරදහස් පන්සියක් දීලා අරගෙන අඩු ගාණට දෙන්නේ. ඒ නිසා අඩුම බතික් සාරියක් රුපියල් පන්දහසකටවත් දෙන්න වෙනවා. ඒ නිසා මම මේ පාර බතික් සාරි ගත්තේ නැහැ. අනික කවුරුවත් බතික් සාරි ගන්න වැඩි කැමැත්තක් තිබ්බෙත් නැහැ.” අනෙක් අතට බොහෝ රජයේ සේවකයන් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් පවා ජනවාරි පළමු වැනිදා හැඳ තිබුණේ අප්‍රේල් මාසේ සිංහල අවුරුද්දට හෝ නත්තලට කියා මිලදී ගත් ඇඳුම් පැලඳුම්ය. ඒ පසුගිය වසරේ ගත් ඇඳුම් පැලඳුම් තවමත් අල්මාරියේ තැබූ තැනම සුරක්ෂිතව තිබෙන නිසාය. වර්තමානයේදී ආනයන සීමා කර ඇති නිසා ඉන්දියාව, චීනය, තායිලන්තය, කොරියාව සහ බැංකොක් යන රටවලින් ගෙන්වන සායම් වර්ගවල අඩුවක් වෙළඳපොළේ දකින්නට ලැබෙන්නේය. ඒ නිසාම පිටකොටුව වැනි බතික් සායම් වෙළෙඳාම් කරන ප්‍රධාන වෙළෙඳපොලවල්හි මිල ඒකාධිකාරයක් ඇති බව බතික් කර්මාන්තයේ නියැළෙන්නෝ චෝදනා කරති. මේ හේතුවෙන් වර්තමානය වනවිට බතික් ඇඳුම් හි නිෂ්පාදන මිලද ඉහළ ගොස් ඇති බව ‘ලිය ක්‍රියේෂන්‘ හි අනුජා ජයසේකර කීවාය. ”අද ලොකුම ප්‍රශ්නේ තමයි අමුද්‍රව්‍යවලට යන අධික වියදම. අනෙක් අතට සායම් මිල අද වෙනකොට සියයට හැත්තෑවකින්ම වැඩිවෙලා තියෙන්නේ. රෙදිවල මිල ගණනුත් එහෙමයි. 2019 තොග විදිහට එක බතික් සාරියක මිල වුණේ රුපියල් තුන්දහස් හත්සියයක් විතර. එ්ත් අද ඒ ගාණට දෙන්න බැහැ. සායම්, රෙදි, ඉටි වගේ ඒවාට ගිය ගාණ විතරක් දාලා අපේ මහන්සියත් නැතුව රුපියල් හාරදහස් පන්සියයට තමයි අද අපි මේවා විකුණන්නේ. අඩුම ගානේ බැංකුවකින් ගිහිල්ලා අපිට ණයක් ගන්නත් අමාරුයි. ඉතින් කොහොමද ඉස්සරහට මේ කර්මාන්තය රැකෙන්නේ.” සාමාන්‍යයෙන් බතික් නිර්මාණකරුවකු දිනකට උපරිම බතික් සාරි තුනක් හෝ හතරක් නිර්මාණය කරන්නේය. එයද සිය දෑතින්ය. නමුත්, ඒවා අලෙවි කිරීමට හොඳ වෙළෙඳපොළක් නොමැති බැවින්, අද බතික් නිර්මාණකරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ‘ලිය ක්‍රියේෂන්’ බතික් ආයතනයේ අනුජා ජයසේකර කියන්නීය. මේ අතර ලංකාවටත් බතික් හඳුන්වා දුන් බතික් හි මව්රට වන ඉන්දුනීසියාව පිළිබඳවත් මතක් කළ යුතුමය. ඔවුන් මීට වසර සිය ගණනකට පෙර රජු වෙනුවෙන් මේ බතික් නිර්මාණ කළෝය. පසුව දහඅට වැනි සියවස වනවිට සාමාන්‍ය ජනයා අතරෙත් බතික් මෝස්තර ජනප්‍රිය විය. නමුත්, තමවත් ඉන්දුනීසියාව බතික් මෝස්තර රටාවන් කිහිපයක්ම සාමාන්‍ය ජනයාට හැඳපැලඳ ගැනීමට තහනම් ය. ඒවා “හක්” බතික් රටාව ලෙස හඳුන්වන අතර මේවා කැප කර ඇත්තේ ඉන්දුනීසියාවේ රජ පරපුර සඳහා පමණි. එහිදී, මුහුදු පතුල, සතුන්, ශාක, කුරුල්ලන්, පියාපත් සහ ගරුඬා වැනි රටාවන් ඇඳීමට අවසර දී ඇත්තේ රජුට සහ ඔටුන්න හිමි කුමරුට පමණි. අද වනවිට නවීන තාක්ෂණය භාවිත කරමින් බතික් නිෂ්පාදන ක්‍රියාවලිය දැව සහ යකඩ මුද්‍රණ ක්‍රමය දක්වා වේගයෙන් දියුණු වී ඇත්තේය. 2008 වසර වනවිට ඉන්දුනීසියාවේ බතික් හි ස්වර්ණමය යුගය ආරම්භ වන්නට පටන් ගත්තේය. එහි වඩාත්ම උච්චතම අවස්ථාව ලෙස වාර්තා වන්නේ යුනෙස්කෝව විසින් බතික් ‘ලෝක උරුමයක්‘ ලෙස නම් කිරීමයි. එතැන් සිට එදා කමිසයට, ගවුමට පමණක් සීමා වූ බතික් නිර්මාණ අද, දේශීය නිර්මාණකරුවන් විසින් ජැකට්, සපත්තු, කණ්ණාඩි, ඔරලෝසු දක්වා විවිධ වර්ගයේ නිර්මාණයන්ට පරිවර්තනය කර තිබේ. ඔවුන්ගේ ප්‍රසිද්ධම “සේජෝ මාතා මේමන්ඩාං” බතික් සන්නාමය අද වනවිට ලෝකය ජයගෙන අවසන්ය. අද ඔවුන්ගේ බතික් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන පනස් දෙකකට වැඩිය. එය ඉන්දුනීසියාවේ ආර්ථිකයට මනා පිටිවහලක් වන බව හඳුනාගෙන ඇත. එමෙන්ම, ඔවුන්ගේ ප්‍රධාන අපනයනකරුවන් වන්නේ ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපය වේ. ලංකාවට බතික් කලාව හඳුන්වා දුන්නේ සෝමා උඩබාගේ ය. ඉන්පසුව 1969 දී චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන විසින් ලංකාවේ බතික් ප්‍රචලිත කිරීමට දායක වූ අතර 1973 දී දේශීය වශයෙන් බතික් ව්‍යාප්තව පැවතුණි. එදා සිට අද දක්වා විවිධ නිර්මාණ ඔස්සේ බතික් ශිල්පය සහ නිර්මාණ ලංකාවේ අතිශය ප්‍රසිද්ධ වුවත් ඒවායේ මිල ගණන් හෝ ඒවායෙන් ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට හැකිවුයේ අතේ ඇඟිලි ගණනක තරම් පිරිසකටය. එහිදී, බුද්ධි කීර්තිසේනගේ දියණිය වන දර්ශි කිර්තිසේන විසින් 2018 වසරේදී ජාත්‍යන්තරය ජයගත් ‘බතික් රැජිනයි’. ඇය රටවල් කිහිපයක නිර්මාණකරුවන් පිරිසකට පමණක් සහභාගී විය හැකි ‘බකිංහැම් මාලිගයේ‘ නිර්මාණ ප්‍රදර්ශනයට සහභාගී වූ පළමු කාන්තාවයි. ඇය ඒ ප්‍රදර්ශනය සඳහා යොදාගෙන තිබුණෙත් අපේකම කිවහැකි ‘බතික්‘ නිර්මාණය. කෙසේවෙතත්, අද වනවිට ලංකාවේ බතික් නිර්මාණකරුවන් මුහුණ දී සිටින ගැටලුවට ඉදිරියේදී විසඳුම් ලැබේදැයි සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධනගෙන් අපි විමසුවෙමු. එහිදී, සාධාරණ මිලකට බතික් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකසමින් සිටින බව ඔහු කිවේය. ”අද වෙනකොට පිටකොටුවේ ඉන්න වෙළෙන්දෝ එක එක හේතු කියලා සායම්, රෙදිවල ඉඳලා බතික්වලට අවශ්‍ය අමුද්‍රව්‍යවලට කළු කඩ මිලක් නියම කරලා තියනවා. මොකද ඔවුන් තමයි රෙදි ගේන එකේ ඉඳලා බතික් සායම් ටික වෙනකල්ම ගෙන්නන්නේ. ඉතින්, ඔවුන්ට ඕනේ විදිහට තමයි මේ මිල ගණන් හැදිලා තියෙන්නේ. එ්ත්, අපි සළුසල විදිහට ඉදිරියේදී පරිසර හිතකාමී සහ පිළිකා කාරක නොමැති අලුත් වර්ණක අඩු මිලට සපයන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද තියන සීමිත මෝස්තර නිසා අලුත් නිර්මාණ මොකක්වත් වෙළඳපොළට එන්නේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා ජාතික මෝස්තර මධ්‍යස්ථානයත් එක්ක කතා කරලා අලුත් මෝස්තර ටිකක් නිර්මාණ කරන්න.” ඒ වගේම සාරිය, කමිසයට හෝ සරමට කොටු නොවී අලුත් අලුත් නිර්මාණ අත්හදා බලමින් තාරුණ්‍යයට ගැළපෙන අලුත් නිර්මාණ කිහිපයක් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කිවේය. හර්ෂණි දිසානායක
 

More News..