brand logo

රාජ්‍ය නායකයන්ගෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම්

08 August 2020

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජ්‍ය නායකයෝ කිහිපදෙනෙක්ම අද (7) සුබපැතුම් එක් කළහ. මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරකතන ඇමතුමක් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. දෙරට අතර දිගු කලක් ඔස්සේ පවතින සබඳතා තවත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබිණ. ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව මිතුරන් මෙන්ම ඥාතීන් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී නරේන්ද්‍ර මෝදි මහතාට ප්‍රකාශ කර තිබේ. මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමද් සෝලි, උප ජනාධිපති ෆයිසල් නසීම්, නේපාලයේ අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි යන රාජ්‍ය නායකයන් දුරකතන ඇමතුම් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබිණි. ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට බලපාන ද්විපාර්ශ්වීය ලැදිකම් සහ අභිලාෂ සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සූදානම් වන බව මාලදිවයිනේ ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි. ඔස්ට්‍රේලියාන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද සුබ පැතුම් එක් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි ද සුබ පැතුම් එක් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දුරකතන ඇමතුමක් ලබාදෙමින් රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. තමා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ජපානයේ කළ සංචාරය සහ ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරවලින් රටවල් දෙක විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව ට්විටර් ගිණුමේ සටහනක් තැබූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දුරකතන ඇමතුමක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබේ. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පළ කරන බවත් දෙරටේ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
 

More News..