brand logo

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට පෙබ. 03 තෙක් අවස්ථාව

21 January 2020

කන්තලේ සීනි සමාගම යළි ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී එම කම්හලට අයත් යන්ත්‍රෝපකරණ හා ගොඩනැගිලි පවරා දීමේ ඉටුකර දීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා විසින් තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (21) ලබන මස 03 වනදා තෙක් අල්ලස් කොමිසමට කල් ලබාදෙන ලදී. මෙම ඇප ඉල්ලීම අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර පියදාස දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු සිය සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අල්ලස් කොමිසමෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව මෙම ඇප ඉල්ලීමට අදාළ විරෝධතා පෙබරවාරි මස 03 වනදා ඉදිරිපත් කරන ලෙසත් ඊට එරෙහිව ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි මස 10 වන දාට පෙර ගොනුකරන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කරන ලදී. ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳව විභාගය පෙබරවාරි මස 17 දා සිදු කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සදහන් කළහ. ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ වරදකරු කළ එහි දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 දායක දඩයක් නියම කර තිබුණි. එම දඬුවම තමන්ට නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය අහෝසි කරන සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විත්තිකාර පියදාස දිසානායක මහතා විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එම චෝදනාව සම්බන්ධයෙන් ම වරදකරු කෙරුණු හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි .එච්. කේ .මහනාම මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් සහ රුපියල් 65000/- ක දඩයක් ද නියම කර තිබුණි. (අධිකරණ වාර්තාකරු)
 

More News..