brand logo

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමේ නියෝගයට දින

17 February 2020

කන්තලේ සීනි සමාගම යළි විවෘත කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 12 ක සිර දඬුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ගොනුකර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය අප්‍රේල් මස 02 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද(17) නියෝග කළේය. මෙම ඇප ඉල්ලීම ඊයේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර පියදාස දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී තිබෙන සිර දඬුවමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තම සේවාදායකයා ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. විත්තිකරු මහාධිකරණය මඟින් වරදකරු කළ ද ඔහු ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය තම සේවාදායකයා සම්බන්ධයෙන් තවමත් ක්‍රියාත්මක බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඒ අනුව ඇප පනත යටතේ අභියාචනා විභාගය අවසන් කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තම සේවාදායකයා ඇප මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය බලයක් මෙන්ම අභිමතයක් පවතින බව පෙන්වා දුන්නේය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව අල්ලස් කොමිසමෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේය. නඩුවේ ඇප ඉල්ලුම්කරු දැනටමත් නිසි අධිකරණයක් මඟින් වරදකරු කර සිරදඬුවම් නියම වී සිටින හෙයින් ඔහු සම්බන්ධයෙන් වූ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය නැමැති සංකල්පය මෙම අවස්ථාවේ අදාළ නොවන බවද ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ ලිඛිත දේශන තිබේනම් ඒවා මාර්තු මස 10 වන දා ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය. ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන අප්‍රේල් මස 02 වන දා ප්‍රකාශයට පත් කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කරන ලදී. ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 දායක දඩයක් නියම කර තිබුණි. එම දඬුවමට එරෙහිව පියදාස දිසානායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.   (අධිකරණ වාර්තාකරු)
 

More News..