brand logo

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව ඖෂධ වර්ග නිෂ්පාදනය ආරම්භ කිරීම

23 March 2020

ශ්‍රී ලාංකික ජනතාවට තත්ත්වයෙන් උසස් ප්‍රත්‍යක්‍ෂ ඖෂධ නිෂ්පාදනය කිරීම, ඖෂධ වෙළෙඳ‌පොළේ මිල ඒකාධිකාරය බිඳ හෙළමින් මිල පාලකයා වශයෙන් කටයුතු කිරීම, පහසු මිලකට ඖෂධ ලබා දීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රමුඛ පරමාර්ථ අතුරෙන් කැපී පෙනෙන පරමාර්ථයන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති යහ නිෂ්පාදන පිළිවෙත හෙවත් GMP අවශ්‍යතාවන් එලෙසම සපුරාලමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සියලු අංශයක්ම නිර්මාණය කර තිබෙන අතර මෙම නිෂ්පාදනයන් කෙරෙන්නේ මහාබ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත්ජනපද ඖෂධ සංග්‍රහයන් අනුව යමිනි. වර්තමාන ලෝකයේ පවත්නා ඉහළම තාක්‍ෂණය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරනු ලබන බව අවිවාදයෙන් යුතුව සඳහන් කරනු වටී. ජපානයේ සහ ජර්මනියේ නිෂ්පාදිත යන්ත්‍ර සූත්‍ර බොහෝමයක් මෙහි නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරනු ලබයි. මෙහි ආරම්භක නිෂ්පාදන ධාරිතාව මිලියන 550ක් වූ අතර ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය හෙවත් ජයිකා (JICA) ආයතනයේ මූල්‍යාධාර මත 2022 වර්ෂයේදී එය බිලියන 4 දක්වා වර්ධනය කිරීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. රුධිර කැටි ගැසීම අඩු කිරීම සඳහා රෝගීන්ට ලබා දෙන වෝෆරීන් නමැති ඖෂධය මේ දක්වා මෙරටට ආනයනය කළ අතර මෙම වෝෆරින් ඖෂධය 0.5mg, 1mg, 3mg සහ 5mg යන මාත්‍රාවන් යටතේ ලබා දේ. මෙහි වාර්ෂික මුළු අවශ්‍යතාව ඒකක මිලියන 18ක් පමණ වේ. මෑතකදී මෙසේ ආනයනය කරන ලද වෝෆරින් ඖෂධ තොගය තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් මේ දිනවල දිවයින පුරා මෙම ඖෂධයේ හිඟයක් පැවතීමෙන් හදවත් ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන් දැඩි අපහසුතාවන්ට පත් වී ඇත. රටේ පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෝෆරින් ඖෂධය ප්‍රථම වරට දේශීයව නිෂ්පාදනය කිරීමට ගත් වෑයම සාර්ථකව ජය ගනිමින් එහි මූලික ඖෂධ තොගය (වෝෆරින් 3mg) අද දින රජයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත ඉමහත් අභිමානයෙන් යුතුව ලබා දෙනු ලබයි. තවද, මෙහි එන අනෙකුත් මාත්‍රාවන් සියල්ලම මෙම සතිය තුළ වෛද්‍ය සැපයුම් අංශයට ලබා දීම සඳහා ඒවාහි නිෂ්පාදන කටයුතු මේ වන විටත් කඩිනමින් සිදු කරන අතර ඉදිරියේදීද මෙම ඖෂධයේ සම්පූර්ණ වාර්ෂික අවශ්‍යතාව සැපයීමට හැකි බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා දන්වා සිටියි. තවදුරටත් මෙම ඖෂධයට අමතරව මේ දක්වා මෙරටට ආනයනය කරනු ලබන තවත් ඖෂධ වර්ග 26 ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යටතේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික කටයුත සැලසුම් කර ඇත.
 

More News..