brand logo

රාජ්‍ය ඇමැතිවරයෙක් ගෙදර වැඩකාරයන්ටත් එන්නත විදගන්න ඇවිත්

27 February 2021

අන්තිමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය කිරි කළයක් දොවා ගොම දා ගත්තේය. කොරෝනා එන්නත්කරණය නමැති කිරි කළයට ගොම දැම්මා පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ගොමවලින් ද නාගත්තා යනුවෙන් කීවත් එය වරදක් නැත්තේය. කොරෝනා එන්නත්කරණය දැන් මුළු රටේම අවුල් ජාලයකි. එහෙත් කොරෝනා එන්නත්කරණය මුලදී හරි අපූරුවට පිළිවෙළට විනිවිදභාවයෙන් කෙරුණේය. කොහොමත් ලංකාවේ මව්කිරි දීම මෙන්ම ඉපදුනදා පටන් එන්නත්කරණයෙන් ලෝකයේ අංක එකය. ඒ බව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත ද ලබාදීම ජනවාරි 29 වැනි දින ආරම්භ කරන්නේද එවැනි යාන්ත්‍රණයක්ද සමගිනි. මුලින්ම එන්නත දුන්නේ කොවිඩ් මර්දන රාජකාරියේ ඉදිරිපෙළ සිටින පොලිස් හා හමුදා සාමාජිකයන් එක් ලක්ෂ විසිදහසකටය. මේ අතරේ සාමාන්‍ය ජනාතාවට ද එන්නත්කරණය ආරම්භ කෙරිණි. කොරෝනා එන්නත්කරණය එතැන් සිට කෙරුනේ ගැමුණු කුමාරයා බත් පිඟානේ හැමතැනිම්ම කෑම කෑවා වගේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රභූවරුන් ඇතුළු එකී නොකී සියලු දෙනාටම එන්නත ලබාදීම ආරම්භ විය. එන්නත්කරණය පිටපාරේ යැවීම සෞඛ්‍ය බලධාරීන් විසින්ම ක්‍රියාත්මක කරන්නේ මෙතැන් සිටය. දේශපාලන හිතවතුන්ට, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා විදුහල්පතිවරුන්ට එන්නත් ලබා දීමට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල පියවර ගත් බව නොරහසකි. ගිය සතියේ කොළඹ ජාතික රෝහලට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය පවුලටම සහ ගෙදර වැඩකාරයන්ට ද එන්නත් දෙන ලෙසට බලපෑම් කර තිබිණි. එම ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ආවේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. මේ අනුව එන්නත්කරණය සාමාන්‍ය ජනතාවට ලබා දීමට පෙර වයස අවුරුදු 60 ඉක්මවූවන් ලක්ෂ 28කට ලබා දීමට ගෙන තිබූ තීරණය ද කණපිට පෙරළුණි. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් බහුතර කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම නිසා සාමාන්‍ය ජනතාවට එන්නත ලබාදීම එම දිස්ත්‍රික්කවලින් ආරම්භ කිරීමට තීරණය විය. වැඩිම මරණ වාර්තා වී ඇත්තේද එම දිස්ත්‍රික්කවලිනි. වසංගතවේදී අංශයේ දත්තවලට අනුව වයස අවුරුදු 60 ඉක්මවූවන්ගෙන් මරණ සිදුව ඇත්තේ 10%ක ප්‍රමාණයකි. නමුත් වයස අවුරුදු 30-60 අතර මරණ ප්‍රමාණය ඊට වැඩිය. එම නිසා පෙබරවාරි මස 16 වැනි දින සිට වයස අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයේ පිරිසටද එන්නත් ලබාදීම ආරම්භ විය. ‘‘මෙම තීන්දුවත් සමග ගැටලුවක් නිර්මාණය වුණා. එන්නත්කරණ සැලැස්ම වෙනස් කරලා. තාක්ෂණික කමිටුව, ජනාධිපති කාර්ය සාධක බළකාය ගන්නා තීන්දු එක රැයකින් වෙනස් වෙනවා. මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නැහැ. වයස් කාණ්ඩ වෙනස් කළේ ඉහළ නිලධාරීන් පිරිසක්. ජාත්‍යන්තර ප්‍රමුඛතාව වයස අවුරුදු 60 ට වැඩි අයයි. අත්වැරැදීමක් වෙලා තිබෙනවා. මමත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරියක්. සැලසුම් වෙනස් කිරීම ගැන මටත් කනගාටුයි. ලජ්ජයි. එම නිසා පසුගිය සිකුරාදා සිට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත්කරණය කිරීමට තීන්දු කළා. මම කොවිඩ් එන්නත්කරණ රැස්වීම්වලට පවා එන්න කියන්නේ නැහැ.’’ ප්‍රාථමික සෞඛ්‍ය කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියාය. එන්නත්කරණ සැලසුම් එක රැයෙන් වෙනස් කරන සෞඛ්‍ය අමාත්‍යාංශ බලවතා කවුද? විමර්ශනය කළ යුතු කරුණකි. මෙම වෙනසට විශේෂඥ වෛද්‍යවරුන් ද විරෝධය පළ කළහ. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය එන්නත් කිරීමේ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිව වන බවට චෝදනා කළේය. එම සංගමය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60 ඉක්මවූවන් දිනපතා රෝග හා මරණවලට ගොදුරුවන කණ්ඩායමක් බවයි. වි​ශේෂයෙන්ම බෝ නොවන රෝගවලින් පෙලෙන අය එම වයස් කාණ්ඩයේ සිටිති. තෝරාගත් ප්‍රජාවන් කිහිපයකට වයස අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයට එන්නත් ලබාදීමට ගත් තීරණය විද්‍යාත්මක පදනමකින් තොර බව එම සංගමයේ අදහසයි. මේ තත්ත්වය නිසා කොවිඩ් 19 වැළැක්වීමේ ක්‍රියාකාරකම් මුළුමනින්ම අඩපණ වන බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන ක්‍රමවත් විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද අවධාරණය කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනට ලිපියක් යොමු කරමින් කියා සිටියේ රෝගය බෝවීම, රෝහල් ගත වීම හා මරණ අවම කිරීමේ අරමුණින් එන්නත්කරණයේ අපේක්ෂාවන් බවයි. එහෙත් බහුවිධ රෝගවලට ගොදුරු වන වයස අවුරුදු 60 ඉක්මවූවන්ට එන්නත දීම නතර කර වයස අවුරුදු 30-60 කාණ්ඩයට එන්නත ලබාදීම සාකච්ඡාවකින් තොරව ගත් තීරණයක් බවය. කෙසේ වෙතත් අවසානයේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබා දීමට තීන්දු විය. ඒ සඳහා ලියාපදිංචි වීමට වෙබ් අඩවියක්ද නිර්මාණය විය. ජනතාව එන්නත් ලබා ගැනීමට ලියාපදිංචි වූහ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සාමාන්‍ය ජනතාවට එන්නත්කරණය ආරම්භ වූ පසු ගම්පහ දිස්ත්‍රික්කයෙන් එන්නත්කරණය නිසි ලෙස නොවන බවට පැමිණිලි ගලා ගෙන එන්නට විය. ඇතැම් ස්ථානවල දේශපාලන බලහක්තාරකම් මත එන්නත ලබාදීමට කටයුතු කරන බවට චෝදනා එල්ල වූහ. ජනතාව පෝලිම්වල මීටරයේ දුරින් නොසිට එන්නතට පෙර කොරෝනා බෝ කර ගන්නා තත්ත්වයක් නිර්මාණය විය. කොළඹ නාරාහේන්පිට වෛද්‍ය සායනය තුළ එන්නත්කරණ වැඩපිළිවෙළේ ඇති වූ ගැටුම නිරාකරණය කිරීමට පොලිසිය ද කැඳවීමට සිදු විය. ජනතාව උදෑසන හයේ සිට එන්නත් ලබා ගැනීමට පැමිණ සිටියේ පොරකමිනි. ලියාපදිංචි වූ අයට පමණක් එන්නත ලබා දෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ. ‘‘අපි උදේ 6.45 සිට ඉන්නේ. වයස අවුරුදු 60 ඉක්මවූවන්ට දෙනවා කිවූ නිසයි ආවේ. වැක්සීන් එකට කලින් කොරෝනා වැලඳෙයි’’ වැඩිහිටියන් කෑ ගැසූහ. මීටරයේ පරතරය නොතිබිණි. පොලිසිය පැමිණ පෝලිම් හැදීමට උත්සාහ කළත් එය නිෂ්ඵල විය. බොරැල්ල කැම්බල් පිටියේද එවැනි සිද්ධියක් සිදු විය. එන්නත් ලබාදෙන බව වාර්තා වීමත් සමග 500කට අධික පිරිසක් පැමිණියහ. නමුත් එන්නත් ගෙනවිත් තිබුණේ 250ක් පමණි. කොළඹ කාසල් පාරේද එන්නත්කරණ මධ්‍යස්ථානයක් තිබිණි. එන්නත් ලබා ගැනීමට පිරිස පැමිණිය ද අංක 500ක් නිකුත් කර තිබිණි. නමුත් එන්නත් තිබුණේ 30ක් බව බලධාරීන් එහි දී ප්‍රකාශ කිරීමත් සමග ජනතාව නොසන්සුන් විය. මාල​ඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේද එවැනි කලබලයක් බ්‍රහස්පතින්දා ඇති විය. එන්නත් ලබා ගැනීමට රෝහල් සේවකයන්ට උදා වූ වාසනාව ප්‍රභූන් විසින් ලබා ගැනීම නිසා අහිමි වූහ. ‘‘අපිට අද එන්නත ලබා දෙන බව පැවසුවා. නමුත් එන්නත ප්‍රභූ පිරිසට ලබා දීලා’’ සේවක සේවිකාවෝ පැවසූහ. එන්නත්කරණ මධස්ථාන 4000කදි සිදු කිරීමට සැලසුම් කර තිබිණි. නමුත් ප්‍රායෝගික ගැටලු රැසක් මතුවීම නිසා සාමාන්‍ය පරිදි එන්නත් කරණය සිදු කිරීමට පියවර ගෙන තිබේ. ‘‘සෑම ග්‍රාම නිලධාරි වසමකම සායන මධ්‍යස්ථානවලින් එන්නත ලබා ගන්න පුළුවන්. විවිධ ආයතන ඉල්ලීම් කරනවා. නමුත් එහෙම එන්නත ලබා දෙන්න බැහැ. දැන් වෙබ් අඩවි හරහා ලියාපදිංචි වීමේ අවස්ථාව නැහැ. ඡන්ද හිමි නාමලේඛනයේ නම තියෙනවා නම් එන්නත ලබා ගන්න පුළුවන්. ජනතාව උදේ සිට පොරකන්න එපා. පොලිසියේ හා ගමේ නිලධාරීන්ගේ සහාය ඉල්ලා තිබෙනවා. මොනව වුණත් එන්නත ලබා ගත්තත් මුව ආවරණ පැලඳීම, මීටරයේ දුරින් සිටීම හා දෑත් පිරිසුදුව තබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.’’ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය. ‘‘දැන් මාධ්‍යයේ ලොකුවට කෑ ගහනවා. කවුරුවත් දන්නේ නැහැ එන්නත ලබා ගන්න විදිහ. වෙනත් රටකට යන්න තිබූ තොගයක් තමයි ලබා ගත්තේ.’’ ඒක කියා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂය. එය ඇත්තය. ලෝකයේ විශාල එන්නත් තරගයක් ඇත. ලොකයේ රටවල් 130කට මෙතෙක් එන්නත් මාත්‍රාවක්වත් ලැබී නොමැත. ඒ අනුව අප ලබා ඇත්තේ ජයග්‍රහණයකි. එන්නත් ලක්ෂ 10ක් ගෙන්වා තිබේ. එම එන්නත්කරණය විධිමත්ව කළ හැකි නම් එය තවත් ජයග්‍රහණයකි. උදයජීව ඒකනායක
 

More News..