brand logo

රාජකාරීවලට බාධා කළ පොහොට්ටු මන්ත්‍රීවරයාට නීතිය ක්‍රියාත්මක කරන්න

11 June 2021

බෙලිඅත්ත දකුණ ග්‍රාම නිලධාරී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීවරයාගේ හා ග්‍රාම නිලධාරිනියගේ රාජකාරීවලට බාධා කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම සංගමයේ දැඩි විරෝධය පල කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඊයේ (10) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු, හෙලන් පුෂ්පකුමාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් බෙලිඅත්ත දකුණ ග්‍රාම නිලධාරී වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීවරයාගේ හා ග්‍රාම නිලධාරිනියගේ රාජකාරීවලට බාධා කර තිබෙන බවය. එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරන්නේ අදාළ මන්ත්‍රීවරයාගේ හැසිරීම හෙලා දකින බවත්ය. තවද රටේම ජනතාව අවධානමට ලක්ව ඇති මොහොතක ජනතාව වෙනුවෙන් කොවිඩ් -19 යටතේ වන රාජකාරී අවම සෞඛ්‍යාරක්ෂිත පහසුකම් පවා නොමැතිව සිදුකරන රාජ්‍ය සේවකයින්ට එරෙහිව දියත් කරන බාධා කිරීම්, තර්ජනය කිරීම් ඇතුලු ක්‍රියාවන්ට එරෙහිව ආණ්ඩුව නිසි පියවරක් කඩිනමින් ගත යුතු බව ද එම සංගමය අවධාරණය කර ඇත. අදාළ කරුණ සම්බන්ධයෙන් මේවන විට ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇති බවද එම සංගමය සඳහන් කරයි. ඉහත සිදුවීම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති අතර අදාළ නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලා සිටී.
 

More News..