brand logo

රාගම රෝහලෙන් පැන්න ආසාදිතයා අතුරුදන්

06 August 2021

කන්දකාඩු ගෙනියනවාට බයෙන් ආසාදිතයෙක් පැනලා ගිහින්

රාගම ශික්ෂණ රෝහ​ලේ කොවිඩ් වැලඳි ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ලේ බැංකු සේවකයකු කන්දකාඩු රැගෙන යාමට බියෙන් රෝහලෙන් පැන ගොස් ඇති බව රෝහල් පොලිසිය පවසයි. ඉකුත් මස 29 වැනිදා සිට රෝහලෙන් අතුරුදන්ව ඇති මේ රෝගියා මෙතෙක් හමුවී නැති බවද ඥාතීහු පවසති. කඩවත සූරියපාළුවේ පදිංචි කේ.ඩබ්ලිව්. ජයසිරි අබේසුන්දර නමැති වයස අවුරුදු 66ක් වූ අයකු මෙසේ අතුරුදන්ව ඇති බව පැවසේ. කේ.ඒ. පද්මිණී අබේසුන්දර නමැත්තිය, අරුණට අදහස් දක්වමින් මෙසේ කීය. ‘‘මේ අතුරුදන්වෙලා ඉන්නේ මගේ තාත්තා. තාත්තා වසර 32ක් නාරාහේන්පිට ලේ බැංකුවේ වැඩ කළ කෙනෙක්. පසුගිය 29 වැනිදා රෝහල් පොලිසියෙන් ගෙදරට කෝල් කරලා ඇහුව තාත්තා ගෙදර ආවද කියලා. එතකොටයි අපි තාත්තා රෝහලේ නැති බව දන්නේ. මගේ මහත්තය රාගම රෝහලේ වාට්ටුවක් ගානෙ ගිහිං සැමතැනම හෙව්වා. රෝහල අසල ඇති කැලෑවෙත් බැලුව. සියලුම ඥාතීන්ගේ ගෙවල්වලත් හෙව්වා. තාත්තගෙ යාළුවන්ටත් කෝල් කරල ඇහුව. සතියක් ගෙවිල ගියත් තාම තාත්තා හොයාගන්න බැරිවුණා. තාත්තා ආගිය අතක් නැහැ’’ ‘‘මගේ පවුලේ මම විතරයි ඉන්නේ. මගේ මහත්තය පාසල් වෑන් එකක වැඩ කරන්නෙ. එයාටත් රස්සාව නැහැ. අපට දරුවො දෙන්නෙක් ඉන්නවා තාත්තගෙ පැන්ෂන් පඩියෙන් තමයි අපි ජීවත් වුණේ. අපේ තාත්තාට මොකද වුණේ කියලා රෝහලේ කවුරුවත් දන්නෙ නැහැ.’’ අතුරුදන්ව ඇති රෝගියාගේ බෑණා වන ඩබ්ලිව්.ඒ.සී. වීරක්කොඩි මෙසේ කීය. ‘‘මේ අතුරුදන් වෙලා ඉන්නෙ මගේ නෝනගෙ තාත්තා. දැන් දින ගණනක් වෙනවා රෝහලෙන් පැනල ගිහිං. කවුරුවත් දන්නෙ නැහැ තාත්තාට මොකද වුණේ කියලා. රෝහලේ වෛද්‍යවරයකුගෙන් ඇහුවම කිව්වෙ රෝගීන් රෝහලෙන් පැනල යන එක සාමාන්‍ය දෙයක් කියලා. මගේ මාමා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, කොරෝනා රෝගියෙක්. එයා ප්‍රතිකාර නැතිව මහ මග මැරුණත් වගකීම භාරගන්න කෙනෙක් නැහැ. ඊටත් වඩා මෙයා කොරෝනා රෝගියෙක් කියලා අන් අය දන්නෙ නැහැ. මේක මේ රෝගය පැතිරෙන්නත් බලපානවා. කන්දකාඩුවලට යවනව කිව්වහම තාත්තා බය වෙලා සිහිය නැතිව වැටුණ කියලා රෝහලෙන් කිව්වා. අපේ දරුවො දෙන්නට තාත්තා පණවගේ ආදරෙයි. තාත්තගෙ පැන්ෂන් පඩියෙන් තමයි ගෙදර බර ඇද්දේ. මම පාසල් වෑන් රථ රියැදුරෙක්. මටත් දැන් රස්සාව නැහැ. ගිය මාසෙ 29 වැනිදා තමයි රෝහල් පොලිසියෙන් තාත්තා රෝහ​ලේ නැති බව කීව්වේ. දැන් දින ගණනක් වෙනව තාමත් සොයාගන්න බැරි වුණා. ‘‘තාත්තට ඇස්ට්‍රාසෙ​නිකා පළමුවැනි මාත්‍රාව ගහලයි තිබුණේ. දෙවැනි මාත්‍රාව එනකම් තමයි හිටියේ. ඒ අතරෙ කොවිඩ් හැදිලා. රෝහලෙන් කිව්වා. අපේ ගෙදරට පී.එච්.අයි. මහත්තුරු එයි කියලා. නමුත් තාමත් කවුරුත් ආවේ නෑ. නමුත් අපි ගෙදරටම වෙලා ස්වයං නි​රෝධායනය වෙලා ඉන්නවා. අපි ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. අපට හිත හදා ගන්න බැහැ. අපිට හොයන්න යන්නත් බැහැ. තාත්තා ගැන හෝඩුවාවක් තිබුණොත් ළඟම පොලිසියට දන්වන්න කියල මම ඉල්ලනවා’’ ජයතිලක ගන්නෝරු - මහර   https://youtu.be/7UaaDa2G6xg
 

More News..