brand logo

රාගධාරී සංගීතයේ පතුලට කිමිදෙන - ගිහාන් බණ්ඩාර

16 September 2020

ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් ප්‍රමාණයකින් ආරම්භ කළ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසාන කඩඉමට සේන්දු වී ඇත. සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා රාත්‍රි 7.00ට ඩ්‍රීම් ස්ටාර් කිරුළ වෙනුවෙන් නුවන්දිකා සේනාරත්න, ෆැලන් ඇන්ඩ්‍රියා සහ ගිහාන් බණ්ඩාර තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටී. අවසාන මහා රාත්‍රියේ ඩ්‍රීම්ස් ස්ටාර් සිහින ගැන ඔවුන් හඬ අවදි කළා... ‘‘හුඟ දෙනෙක් අහන්නේ මෙච්චර සින්දු කියන්න පුළුවන්කමක් තියෙනකොට මීට කලින් රියැලිටි වැඩසටහනකට ආවෙ නැත්තේ ඇයි කියලා. හැබැයි කවුරුත් නොදන්නා පුංචි කාරණාවක් කියන්නම්. මීට කලින් කුලියාපිටියේ තිබුණ දැයට කිරුළ ප්‍රසංගය සඳහා ඉදිරිපත් වුණා. නුවන්දිකාත් එදා ඉදිරිපත් වෙලා හිටියා. හැබැයි ජයග්‍රහණය කළේ අපි දෙන්නම නෙවේ, පසු කලෙක දෙරණ ඩ්‍රීම් ස්ටාර් වෙච්ච ජනිත් ඉද්දමල්ගොඩ. මම හිතාගත්තා රියැලිටි වැඩසටහනකට සහභාගි වෙනවා නම් ප්‍රමිතියෙන් ඉහළ වැඩසටහනකට තමා සහභාගි වෙන්නේ කියලා. ඩ්‍රීම්ස්ටාර් එන්න පරක්කු වෙච්ච හේතුවකුත් තිබුණා. පාසල් අධ්‍යාපනය නිමා වෙච්ච ගමන්ම ශිෂ්‍යත්වයක් ලැබිලා ඉන්දියාවේ රවින්ද්‍ර භාරතී විශ්වවිද්‍යාලයට ගියා සංගීතය ඉගෙන ගන්න. අවුරුදු තුනක් ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගෙන 2019 තමා නැවත ලංකාවට ආවේ. ඒ ඇවිත් තමා දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගය සඳහා ඉදිරිපත් වුණේ. සංගීතය කියන දේ මම උත්පත්තියෙන්ම අරගෙන එන්න ඇති කියලා මට හිතෙනවා. නිස්කලංක ගමක් වෙච්ච වාරියපොළ තිබුණ ගැමි සුන්දරත්වය මගේ හිතේ ස්වර නිර්මාණය කරන්න හේතු වෙන්න ඇති. මුලින්ම ගජගැස්ගම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා මලියදේව පිරිමි විද්‍යාලයට ඇතුළු වුණා. 6 වසරේ ඉඳන්ම සංගීතය එක්ක තමා ජීවත් වුණේ. සුනේත්‍රා දිසානායක මිස් තමා මට මුලින්ම කිව්වේ පුතේ ඔයාට ගැළපෙන්නේ ශාස්ත්‍රීය සංගීතය, බය නැතිව තෝරගන්න කියලා. අදටත් මම මිස්ට ණයගැතියි මට ඒ උපදේශය දුන්නට. රාගධාරී සංගීතය ඔස්සේ ගිහින් සමස්ත ලංකා තරග පවා ජයග්‍රහණය කරනකොට මට මා ගැන ලොකු විශ්වාසයක් ඇතිවුණා යමක් කළ හැකියි කියලා. ඒ ගමනේ අවසානය තමා ඩ්‍රීම්ස්ටාර් අවසාන මහා තරගයේ ගීත ගායනා කරන මොහොත දක්වා පැමිණීම. ඩ්‍රීම්ස්ටාර් ගමන තමා ජීවිතයේ බොහෝ දේවල් නිර්මාණය කරලා දුන්නේ. පළමු දවසේ ‘ඉකිගසා හඬන’ ගීතය ගායනා කරනකොට අද දවසේ මුණ ගැසුණ හොඳම ගායකයා ඔබ කියන ප්‍රතිචාරය ලැබෙනකොට ඇතිවුණේ දරාගන්න බැරි සතුටක්. එතැනින් පස්සේ හැම තරග වාරයකම අඩුපාඩු ගොඩක් හදාගෙන ඉස්සරහට ආවා. විශේෂයෙන්ම නදීක ගුරුගේ සර් දුන්න උපදේශයක් මට තාමත් මතකයි. මම එදා ගායනා කළේ ‘හංසරාජිනී’ ගීතය. පුතා ඔයා උගුරෙන් නෙවේ, පපුවෙන් ගායනා කරන්න. මෙවැනි බොහෝ උපදෙස් නිසා ගායනයේ බොහෝ දේවල් වෙනස් කරගත්තා. විශේෂයෙන්ම ගායනයේ ශිල්ප ක්‍රම සොයාගත්තේ ඩ්‍රීම්ස්ටාර් නිසා. මේ ගමන පිටුපස ඉන්න මගේ රත්තරන් අම්මව සිහිපත් කළ යුතුමයි. අවුරුදු හතරේදි තාත්තා නැතිවෙනකොට මාව උස් මහත් කළේ මගේ අම්මගේ දහිරිය. දවසින් දවස කරදඬු උස් මහත් වෙනකොට වැඩියෙන්ම සතුටු වුණේ මගේ රත්තරන් අම්මා. සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා රාත්‍රියේ මම අම්මගේ හැම හීනයක්ම සැබෑ කරන්න උත්සාහ කරනවා. සමහර විට එදා ඩ්‍රීම්ස්ටාර් අවසාන මහා වේදිකාවේ මගේ අම්මට මාව රජෙක් වගේ පෙනෙයි. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..