brand logo

රහස් පොලිසිය ස්විස් නිලධාරිනියගෙන් ප්‍රශ්න කරන්න යයි - විදෙස් ගමන් තහනමකුත්

03 December 2019

ආන්දෝලනයට තුඩු දී ඇති ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හා ඇයට විදෙස් ගමන් තහනමක් පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙම තත්ත්වය මත මෙකී කාන්තාව පදිංචි ජා-ඇල සහ මාලිගාකන්ද ප්‍රදේශයේ නිවාස දෙකකටත් ඇය රාජකාරි කරන ස්විස් තානාපති කාර්යාලයටත් මෙන්ම ඇයගේ සැමියා සේවය කරන පෞද්ගලික බැංකුවටද රහස් පොලිසිය ඊයේ ​(2 වැනිදා) නොතිසි ලබා දී තිබුණි. අපරධා විධිවිධාන සංග්‍රහයේ 129/6 යටතේ සාක්සි කරුවෙකු කැඳවීමට ඇති බලය අනුව මෙම නියෝගය පනවා ඇත. මීට අමතරව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ විදෙස් ගමන් තහනම පැනවීම ගැන ද අද (3 වැනිදා )අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. මෙම කාන්තාව ගැන තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් තොරතුරු මත කරන ලද විමර්ශනයකදී ඇය පැහැරගත් බව කියන කාලයේ ගුරුවරියකට අයත් බම්බලපිටියේ නිවසක ඇය පැය දෙකක් පමණ සිටි බවට හෙළි වී ඇත. මෙම කාන්තාව කුලී සේවාව යටතේ ලබාගත් රතු පැහැති මෝටර් රථයකින් කොළඹ 07 ඩී. ඇස්. සේනානායක මාවතේ සිට බම්බලපිටියට පිටත්ව ගොස් ඇත. තානාපති කාර්යාලය රහස් පොලිසියට දුන් තොරතුරුවලින් දන්වා ඇත්තේ ඇය කොළඹ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ තම දරුවන්ගේ දෙමාපිය රැස්වීමක් අවසන් වී පැමිණෙමින් සිටියදී පැහැරගෙන ඇති බවයි. ඒ පිළිබඳ විමර්ශන කිරීමේදී එම කන්‍යාරාමයේ මෙම කාන්තාවට දෙමාපිය රැස්වීමකට කැඳවා නොමැති බව හෙළි වී ඇත. මෙම සිදුවීම වූ බව කියන නොවැම්බර් 25 වැනිදා එම කන්‍යාරාමයේ දෙමාපිය රැස්වීමක් සඳහා පැමිණ ඇත්තේ දෙමාපියන් අට දෙනකු බවත්, විමර්ශකයන් සොයාගෙන ඇත. දරුවන්ගේ දෙමාපිය රැස්වීමට සහභාගිවීමට යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටි පිරිසක් තමා වාහනයක දමාගෙන යන ගමන්ම පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා ස්විස්ටර්ලන්තයට පැනයාම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති බවත්, මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් පැමිණිල්ලේ සඳහන් කර ඇත. කෙසේ වුවත් සිද්ධියට මුහුණ දුන් කාන්තාව ගැන හෙළි කිරීම හා ඇයගෙන් ප්‍රකාශ ලබා දීම තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබිණි. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා ඇතුළු විමර්ශන කණ්ඩායම් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට ගියද අදාළ කාන්තාව විමර්ශන සඳහා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට තානාපතිවරයා පියවර ගෙන තිබේ. දැනට ඇති තොරතුරු මත විමර්ශන කණ්ඩායම් ඉන්දියාවේ ඌබර් (Uber) සමාගමෙන් ලබාගත් තොරතුරු, සීසීටීවී දර්ශන හා දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව මෙම කාන්තාව පැහැරගත් බවට ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත්වන අන්දමේ අසත්‍ය ප්‍රචාරයක් ගෙනගොස් ඇතැයි හෙළි කරගෙන තිබේ. මෙම කාන්තාව නිවසට ගිය ඌබර් වාහනයේ රියැදුරු හා ඇය රැඳී සිටිය බව කියන බම්බලපිටිය නිවසේ පදිංචි යුවළගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.මෙම කාන්තාව බම්බලපිටියට ගොස් කොල්ලුපිටිය හරහා මාලිගාකන්දේ ඇය පදිංචි නිවසට නිරුපද්‍රිතව පැමිණ තිබියදී ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කිරීමේ සංවිධානාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි හෙළිවන බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියකු හෙළි කළේ ය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..