brand logo

රෂීඩ්ගේ ‘කැමල් බැට්’ ප්‍රහාරය අපතේ යයි

02 January 2020

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බිග් බෑෂ් විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් සමග පැවැති තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට සිඩ්නි තන්ඩර්ස් පිලට හැකි විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිඩ්නි තන්ඩර්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 168 හඹාගිය ඇඩිලේඩ් කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 165ක් පමණි. සිඩ්නි තන්ඩර්ස් පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ කැලම් ෆර්ගසන්ට හතරේ පහර 7ක් සහ හයේ පහර දෙකක් සමගින් පන්දු 46කදී ලකුණු 73ක් රැස්කර ගැනීමට හැකි විය. අදාළ දක්ෂතාව හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි විය. ඇඩිලේඩ් ඉනිමේ අවසන් භාගයේදී කණ්ඩායමට යම් ජයග්‍රාහී බලාපොරොත්තුවක් එක්කළ රෂීඩ් ඛාන් පන්දු 18කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 40ක් රැස්කර ගත්තේය. රෂීඩ් ඛාන් සාමාන්‍ය ක්‍රිකට් පිත්තේ පිටුපස පෙනුමට හාත්පසින්ම වෙනස් ‘කැමල් බැට්’ යනුවෙන් හඳුන්වන ක්‍රිකට් පිත්තකින් අදාළ ලකුණු සංඛ්‍යාව රැස්කර තිබීම සුවිශේෂී කාරණයක් විය. එම පිත්තේ පිටුපස පෙනුම ඔටුවකුගේ පිටෙහි හැඩයට යම් සමාන බවක් දැක්වීම ‘කැමල් බැට්’ යනුවෙන් හැඳින්වීමට හේතු වී තිබේ.
 

More News..