brand logo

රෂ් අවසාන දර්ශනය රණවිරුවන්ට

16 February 2020

රෂ් චිත්‍රපටයේ ලාංකීය තිරගත කිරීම පසුගිය සතියෙන් නිමාවට පත්වුණා. සාමාන්‍යයෙන් අපි දකිනවා සිනමා නිර්මාණයක් සමාජගත වෙද්දී එහි මාධ්‍ය දැක්ම සහ මංගල දර්ශනයක් පවත්වනවා. හැබැයි ඒ සිනමා නිර්මාණ අවසන් වෙන්නේ කාටත් නොදැනී. නමුත් රෂ් චිත්‍රපටයේ අවසන් දර්ශනයත් හරි අපූරු උත්සවාකාරයෙන් පැවැත්වුණා. විශේෂයෙන්ම මේ අවසන් දර්ශනය වෙන් වුණේ විරෝදාර රණවිරුවන් වෙනුවෙන්. ඒ නිසාම පිනිපලසේ අපි හිතුවා රෂ් චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහේෂ් මුණසිංහ සහ නිෂ්පාදක වසන්ත විජේන්ද්‍ර එක්ක කතා කරන්න. අධ්‍යක්ෂ මහේෂ් මුණසිංහ රෂ් චිත්‍රපටයේ අවසන් දර්ශනය වෙනසක් කරන්න හිතුවේ ඇයි? අපි හැම දෙයක්ම පටන් ගන්නේ උත්සවශ්‍රීයෙන්. නමුත් අවසන් වෙන්නේ කාටවත් නොදැනීම. මම හිතන්නේ අපි චිත්‍රපට හදනවා මේවා දුවන්න ඕනේ කියලා අපි කියනවා. නමුත් ඊට අදාළ වටපිටාව අපි තවමත් හරියට සකස් කරගෙන නැහැ. රෂ් කියන්නේ අපේ කණ්ඩායමේ සියලුම දෙනා ඉතා කැපවීමෙන් කරපු නිර්මාණයක්. ඒ වගේම මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. ඉතින් මට හරි දුකක් තිබ්බා කාත් කවුරුවත් නැහැ වගේ නිකම්ම මේ චිත්‍රපටය ගලවලා දාන්න. ඒ නිසා මම කල්පනා කළා මේ නිර්මාණයට ගෞරවාන්විතව සමුදෙන්න. ජනිතුත් මට කිව්වා රණවිරුවන් එක්ක මෙහෙම වැඩක් කරමු කියලා. මමත් හිතුවා අපි රණවිරුවන් මතක් කරන්නේ යුද්ධයක් තියෙන කාලවල විතරක් නිසා. ඒ අයටත් ගෞරවයක් දෙමින් මේ නිර්මාණයටත් ගෞරවාන්විතව මේ අවසන් දර්ශනය ප්‍රදර්ශනය කරන්න. කොහොමද ලැබුණු ප්‍රතිචාර? ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මෙතැනදී දැන් සේවයේ නියුතු වගේම විරෝදාර සේවය අතරතුර ආබාධයන්ට ලක්වුණු රණවිරුවන් පැමිණ සිටියා. සමාජ ජාල හරහා අතිශය ජනප්‍රිය වුණු බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු පවා මේ අවස්ථාවට සහභාගී වුණා. ඒ වගේම මේ අවස්ථාවට සාමාන්‍ය ජනතාවත් ආව. ඒ අයගෙන් බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුට ලැබුණේ ඉතා විශාල උණුසුම් ප්‍රතිචාරයක්. මංගල දර්ශනයේ වගේම උතුරා යන පිරිසකගෙන් සිනමාශාලාව පිරිලා තිබුණා. මේ සියල්ල දකිද්දී අපි කරපු දේ සාර්ථකයි වගේම මේ රණවිරුවන්ට මෙවැනි දෙයක් සිදු කරන්නට ලැබීම ගැන නිහතමානී සතුටක් ලැබුවා. හැබැයි රෂ් චිත්‍රපටයට මුලින් ලැබුණු ප්‍රතිචාරය දිගටම ලැබුණේ නැහැ නේද, ඇයි ඒ? ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මම හිතන්නේ ඒකට කරුණු කිහිපයක් බලපෑවා. එකක් අපි මේ චිත්‍රපටයේ මංගල දර්ශනය ඔක්තෝබර් 03. ඒත් එදාට තිරගත කරන්නට ලැබුණේ නැහැ. මම හිතන්නේ ලංකාවේ පළමු වතාවට මංගල දර්ශනය තුන් වෙනිදා තියලා. ඊට සති දෙකකට පස්සේ තිරගත වීම ආරම්භ වුණු චිත්‍රපටය රෂ්. සමහර දේවල් නම් මම කතා කරන්නත් කැමති නැහැ. මොකද මේ මගේ පළමු සිනමා නිර්මාණය බොහෝ ජ්‍යෂ්ඨයෝ පවා හැසිරුණු විදිය නවකයින්ට සහයෝගයක් විදියට නෙවෙයි. හිත් රිදීම්. උද්වේගකාරී ලෙස මේ ක්ෂේත්‍රයට ප්‍රවේශයක් ලබා ගන්න මම පෞද්ගලිකව අකමැති නිසා බොහෝ දේවල් උපේක්ෂාවෙන් විඳදරා ගෙන කටයුතු කළා. ඊට අමතරව පැවති දේශපාලන වාතාවරණය සහ අධික වර්ෂාපතනයත් ඔබ ඔය කියන දේට බලපෑවා කියන එකයි මගේ විශ්වාසය. නරඹපු අයගෙන් ලැබුණු ප්‍රතිචාර ගැන තෘප්තිමත් ද? සැබවින්ම. බලපු කිසි කෙනෙක් නිර්මාණය පහත දමා කතා කළේ නැහැ. මම පෞද්ගලිකව සිනමා ශාලා දහයකට විතර ගිහින් මේ නිර්මාණය කොහොමද ප්‍රේක්ෂකයෝ වැලඳ ගන්නේ කියලා පසුපසින් හිඳ බලාගෙන හිටියා. ඒ වගේම සිනමා ශාලා හිමියන්ගෙන් පවා ලැබුණේ මට නිර්මාණය ගැන සතුටු විය හැකි ප්‍රතිචාර. නමුත් ජනාධිපතිවරණ කාල සීමාව සහ සවස් කාලයේ අධික වර්ෂාව මේ නිර්මාණය සිනමා ප්‍රේක්ෂකයින්ගෙන් ඈත් කරා කියලයි මට දැනුණේ. මේ දිනවල රෂ් විදෙස් සංචාර ආරම්භ කරලා නේද තියෙන්නේ? පසුගිය සතියේ කැනඩාවේ ප්‍රදර්ශන දෙකකින් විදෙස් සංචාර පටන් ගත්තා. මේවා ඉතින් පිට රට ඉන්න අපේම ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත් වීමෙන් කරන ප්‍රදර්ශනය කිරීම්. ඒ හැර අපිට වෙන ක්‍රමවේදයක් නැහැ. ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියටත් ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශන වාර හතරක් සහ නවසීලන්තේ සහ නැවත කැනඩාවේ ප්‍රදර්ශනය කරන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ඉතාලි, බහරේන් සහ ඇමරිකාවේ, ලොස් ඇන්ජලිස් වලින් කතා කරලා තියෙනවා. බලමු ඉතින් මේ ආරම්භයක් පමණයි. ඉදිරි සිනමා දායකත්වය කොහොමද? ආරාධනා දෙක තුනක් ලැබිලා තියෙනවා. ලැබුණු තිර රචනා ගැන පූර්ව අධ්‍යනයක් කරන කාලයක් මේක. ගොඩක් වෙලාවට උත්සහ කරනවා හොඳ කතා රසයක් තියෙන නිර්මාණයක් කරන්න. ටික කාලයක් ගතවෙවී මේ පූර්ව නිෂ්පාදන කටයුතු වලට. නමුත් මම රෂ් තුළින් ගොඩ නගාගත්ත දේත් ආරක්ෂා කරගනිමින් හොඳ ප්‍රේක්ෂකයාට දැනෙන නිර්මාණ දෙකක් හෝ තුනක් ඉදිරියට කරන්න තමයි බලාපොරොත්තුව. නිෂ්පාදක වසන්ත විජේන්ද්‍රත් වියදම පිලිබඳ පුංචි අදහසක් දැරුවා චිත්‍රපටය කරන්න මිලියන 38 ක් විතර ගියා, ඒ වගේම ප්‍රවර්ධන කටයුතුවලට මිලියන 14ක් ගියා. ලාභ නම් නැහැ තමයි හැබැයි ඉතින් විදෙස් ප්‍රදර්ශන සහ DVD තැටි හරහා අපි මේ වියදමෙන් යම් කොටසක් හෝ උපයා ගන්න උත්සහ කරනවා. අනුෂා රණසිංහ
 

More News..