brand logo

කෘෂි ගොඩනැගිල්ල ගන්න යොමු කළ රනිල්ගේ කැබිනට් පත්‍රිකාව දුමින්ද එළියට දායි

22 September 2019

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පිහිටි ඩී. පී. ජේ. ටවර් ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. 2016 පෙබරවාරි මස 17 වැනි දින අගමැතිවරයා මෙම ඇමැති මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලැබූ ගොවිජන මන්දිරය ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට පවරා ගැනීමට තීරණය කිරීම නිසා මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගැනීමට සුදුසු බවට ඇමැති මණ්ඩලය නිර්දේශ කර ඇත. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් ඇමැති රවී කරුණානායක නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ. මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා ආර්ථික කමිටුවේ අනුමැතිය ලැබුණු බව අගමැති ලේකම් සමන් ඒකනායක ඇමැති මණ්ඩලයට ලිපියකින් දැනුම් දී ඇත. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණ සාක්ෂි විමසීමේ දී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නොමැති බවයි. මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් කෝටි 210 ක මුදලක් ගෙවා ඇතත් සම්පූර්ණ ප්‍රයෝජනයක් නොලැබුණු බව මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කළේය. මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීම සඳහා අගමැතිවරයා ඇමැති මණ්ඩලයට යොමු කළ සංදේශය සහ අනෙකුත් ලිපි ගොනු හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක විසින් පසුගිය සිකුරාදා නීතිඥවරයකු මාර්ගයෙන් ජනාධිපති කොමිසමට ලබා දී තිබේ.
 

More News..