brand logo

රවීට එරෙහිව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට නියෝග

21 November 2019

ඉකුත් රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියනු ලබන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ වල ප්‍රගතිය පෙබරවාරි මස 20 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ (21) රහස් පොලිසියට නියෝග කළාය. අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පරීක්ෂණයට අදාලව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් කර සිටියහ. හිටපු මුදල් අමාත්‍යවරයාගේ දියණිය වන ඔනෙලා කරුණානායක ගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිත බව සඳහන් කර සිටි රහස් පොලිසිය රවි කරුණානායක මහතාට අයත් බව කියන ග්ලෝබ් ට්‍රාන්ස් පොළේ කන් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව අධිකරණයට දන්වා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පරීක්ෂණය තවදුරටත් සිදු කරන ලෙස රහස් පොලිසිය වෙත උපදෙස් ලබා දුන් අතර එම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන පෙබරවාරි මස 20 වනදා අධිකරණය හමුවේ ගොනුකර ලෙස ද රහස් පොලිසියට නියෝග කළාය. මහ බැංකු බැදුම්කර කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අසත්‍ය සාක්ෂි ලබාදුන්නේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොමිසම විසින් කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. (අධිකරණ වාර්තාකරු )
 

More News..