brand logo

රවිට සති දෙකක් ඇතුළත රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන්නැයි නියෝග

29 August 2019

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව (30) දින සිට සති දෙකක් තුළ රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ දින ඒ මහතාට නියෝග කළේය. මෙම පැමිණිල්ල ඊයෙ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පරීක්ෂණයට අදාලව අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉකුත් ජූලි මස 7 වැනිදා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදුන් බව කියා සිටියේය. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස අමාත්‍යවරයා වෙත අවස්ථා කිහිපයක දී දැනුම් දී තිබුණත් ඔහු මේ දක්වා ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණ නොමැති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා මේ නිසා පරීක්ෂණ කටයුතුවලට යම් බාධාවක් මතුවී තිබෙන බවද දන්වා සිටියේය. මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ප්‍රකාශය සටහන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පරීක්ෂණවල යම් ප්‍රමාදයක් මතුවී තිබෙන බව නිරීක්ෂණය වන බව සදහන් කළාය. ඒ අනුව පරීක්ෂණයට සහාය දැක්වීමක් වශයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්ති යටතේ නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඊයේ දින සිට සති දෙකක් ඇතුළත රහස් පොලිසිය හමුවේ පෙනී සිට මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා දෙන මෙන් ිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත නියෝග කරන ලදී. ඉන් අනතුරුව පැමිණිල්ල නොවැම්බර් මස 21 වනදා කැඳවීමට නියම කෙරුණු අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන්ද රහස් පොලිසිය වෙත මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරනු ලැබීය. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් රහස් පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
 

More News..