brand logo

රනිල් වගේම සජිත්ද මැතිවරණවලට බයේ පැන යනවා - ඇමති ප්‍රසන්න

09 February 2020

රනිල් මෙන්ම සජිත් ද මැතිවරණ වලට බියෙන් පැන දුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයේ සිටිය දීත්, විපක්ෂයේ සිටියදීත් මැතිවරණ වලට මුහුණ දීමට බිය බව පෙන්වා දුන් රණතුංග මහතා වත්මන් විපක්ෂ නායකවරයා මැතිවරණයෙන් නියමිත කාලයට පවත්වන ලෙස කළ ප්‍රකාශයෙන් ද එය තහවුරු වන බවත් කියා සිටි. ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයේ පැරණි ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා අද (09) උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය. මෙහිදි තව දුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේ ය. "විපක්ෂයේ වගකීම තමයි පවතින ආණ්ඩුවෙන් හැකි සෑම වේලාවකම මැතිවරණයක් ලබා ගැනීම. අපි ආණ්ඩුවේ ඉන්නකොටත්, විපක්ෂයේ ඉන්නකොටත් ඕනෑම වෙලාවක මැතිවරණයකට සුදානමින් සිටියා. ආණ්ඩුවේ ඉන්නකොට අපි නියමිත කාලයටත් පෙර මැතිවරණ පැවැත්වුවා. විපක්ෂයේ ඉන්නකොට මැතිවරණ ලබා ගැනීම සදහා අරගල කළා. එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු 05 තුළ ආණ්ඩු කරන කොට පුළුවන් තරම් මැතිවරණ කල් දැම්මා. එදා රනිල් හිටියෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. අද සජිත් ඉන්නෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. ආණ්ඩුව හොද නෑ කියනවා නම් ආණ්ඩුව වැඩක් නැත්නම් හෙට මැතිවරණයකට යන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න කියලා අපි සජිත්ට අභියෝග කරනවා. විපක්ෂ නායකතුමා දැන් කතා කරන්නේ අළුතින් ඉපදිලා වගෙයි. තුනෙන් දෙකක් දුන්නොත් හොරකම් වැඩිවෙයිලු. මහා බැංකු හොරකම වෙද්දි මෙයා නිදාගෙන ද හිටියේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 3000ක් විනාශ කළේ කවුද? අපි කියනවා විපක්ෂ නායකතුමාට වීදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා. දැන් මේ වන කොට හෙළිදරව් වෙලා තියෙනවා යහපාලන රථගාය. පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජනතාවගේ ප්‍රශ්න වලට වඩා තිබුණේ තමන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වා ගැනීමේ වුවමනාව. ජනාධිපතිතුමා බලයට පත් වුනාට පස්සේ අලුතින් වාහන ගන්න එක නතර කළා ජනතාව ජීවන වීයදමින් මිරිකිලා ඉද්දි සුඛෝපභෝගි වාහන ගන්න රථ ගායක් අපට නැහැ එදා යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දරපු අද විපක්ෂ නායක සජිත් ඇතුළු පාර්ශවය අද හැසිරෙන්නේ හරියට සාමුවෙල්, ඇනස්ලි, බර්ටිගේ විනෝද සමය වගෙයි. ඒකටම දෙවැනි නෑ රතු අලි පැටව් ටිකත්. අපි මෙවර මහා මැතිවරණයේ දී තරග කරන්නේ මහින්ද මහත්තයව රටේ අගමැති කරන්න. එදා 2015 දී වුණු වැරැද්ද නිවැරිදි කර ගන්න මේ පාර තමයි අපිට අවස්ථාව හරියටම ලැබෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී අපි ඡන්දය දුන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන්. නමුත් මේ මහා මැතිවරණයේ දී අපි ඡන්දය දෙන්නේ මහින්ද මහතත්යට. මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන්න අපිට අවශ්‍යයි. ඒ නිසා ගම්පහෙන් තරග කරන්න එන්න‘යි අපි එතුමාට ආරාධනය කළා. ඒ ආරාධනාව එතුමා තවම පිළිගෙන නෑ. එතුමා ගම්පහින් ආවොත් ඒක අපේ ජයග්‍රහණයක්. සමහරුන්ට අපි ඊලග මහ මැතිවරණයට තරග කරන ලකුණ ගැන ප්‍රශ්න කරනවා එදා ශ්‍රිලනිපය අත අතෑරියා. දියවෙලා ම ගියා. එජාපය අලියා අතෑරියා දියවෙලා ම ගියා. අපිට ඕන කෙනෙකුට එකතු වෙන්නත් පුළුවන් අපෙන් ඕන කෙනෙකුට යන්නත් පුළුවන්, ඕන කෙනෙකුට එන්නත් පුළුවන්. හැබැයි අන්තවාදීන්ට බෑ කවුරු ආවත් කවුරු ගියත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි. පොහොට්ටුව අතහරින්න අපි ලෑස්ති නෑ. ඒක තමයි අපේ ජයග්‍රාහි ළකුණ. ඒක තමයි ජනතාව ඉල්ලන ලකුණ. ඉදිරි මහා මැතිවරණයෙන් අපි තුනෙන් දෙකක බහුතර බලයක් අරගෙන රට නැවත ගොඩනගනවා. ගෝඨාභය - මහින්ද සුසංයෝගයට ඒකට අවශ්‍ය දැක්ම වැඩපිළිවෙලක් තියෙනවා. යහපාලනය කාලා වීනාශ කරපු රට ගොඩ නගන එක ලේසි නෑ. ඒත් අපි ඒකට ලෑස්තියි.
 

More News..